රියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද පිටත් වෙයි

231
0

බ්‍රසීලයේ පැවැත්වෙන රියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව ගියා.

මෙවර ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙකුට රියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමේ අවස්ථාව උදා වී තිබෙනවා.

ඒ, මලල ක්‍රීඩකයින් දෙදෙනෙකුට, මලල ක්‍රීඩිකාවකට, බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකුට, ජුඩෝ ක්‍රීඩකයෙකුට, ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩකයෙකුට, පිහිණුම් ක්‍රීඩකයෙකුට සහ ක්‍රීඩිකාවකට සහ බර ඉසිලීමේ ක්‍රීඩකයෙකුටයි.

රියෝ ඔලිම්පික් උළෙලට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය මැරතන් ක්‍රීඩක අනුරාධ ඉන්ද්‍රජිත් කුරේට හිමි වී තිබෙනවා.

අනුරාධ සහභාගී වන මැරතන් තරගය පැවැත්වෙන්නේ අගෝස්තු 21 වැනිදායි.

ඊට අමතරව මැරතන් කාන්තා තරග ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිලූකා ගීතානි රාජසේකර එක්වනවා.

ඇය ඉතිහාසයට එක් වන්නේ ඔලිම්පික් තරගාවලියකදී මැරතන් තරගයක් නියෝජනය කරන පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ලෙසයි.

නිලූකා ඔලිම්පික් තරග බිමට පිවිසෙන්නේ අගෝස්තු 14 වැනිදායි.

ඊට අමතරව ජාතික හෙල්ල විසි කිරීමේ ශූර සුමේධ රණසිංහ ද මෙවර ඔලිම්පික් වරම් හිමිකරගෙන තිබෙනවා.

ඔහු සහභාගී වන තරග ඉසව්වේ මුලික වටයේ තරග ආරම්භ වන්නේ අගෝස්තු 17 වැනිදායි.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ පුහුණුකරුවන් ලෙස සජිත් ජයලාල්, ප්‍රදීප් නිශාන්ත සහ ඩබ්ලිව්.එම්. උපාලි එක්වනවා.

නිලූක කරුණාරත්න මෙවරත් ඔලිම්පික් වරම් හිමිකරගෙන තිබීම විශේෂත්වයක්.

ඔහු ඔලිම්පික් උළෙලක් නියෝජනය කරන දෙවන වතාව මෙයයි.

පිටර් ජෝන් හිග්මන්, නිලූකගේ පුහුණුකරු ලෙස කටයුතු කරනවා.

නිලූක සහභාගී වන මුලික වටයේ තරග අගොස්තු 11 වැනිදා සිට ආරම්භ වනවා.

මීට අමතරව ඉතිහාසයේ පළමු වරට ජූඩෝ ක්‍රීඩකයෙකුට ද ඔලිම්පික් වරම් හිමිකරගෙන තිබෙනවා.

ඒ, චාමර නුවන් ධර්මවර්ධනයි.

ඔහු රියෝ ඔලිම්පික් උළෙලට එක් වන්නේ කිලෝග්‍රෑම් 73 බර පංතිය යටතේයි.

නුවන් සහභාගී වන ජූඩෝ තරග ඉසව්වේ මුලික වටයේ තරග ඉසව්ව අගෝස්තු 8 වැනිදා ආරම්භ වනවා.

චාමරගේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ අමල් රත්නායකයි.

ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩක මංගල සමරකෝන් ද මෙවර රියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමජිකයෙක්.

පිරිමි මීටර් 10 වායු රයිෆල් ඉසව්වෙන් තරග වදින මංගල ජාත්‍යන්තර තරග අත්දැකීම් රැසකට හිමිකම් කියනවා.

ඔහු රියෝ ඔලිම්පික් තරග බිමට පිවිසීමට නියමිතව ඇත්තේ අගෝස්තු 8 වැනිදායි.

පුෂ්පමාලී රාමනායක, මංගලගේ පුහුණුකාරිණිය ලෙස කටයුතු කරනවා.

මැතිව් අබේසිංහ සහ කිමිකෝ රහීම් රියෝ ඔලිම්පික් උළෙලට එක්වන ශ්‍රී ලංකා නියෝජනයයි.

මැතිව් පිරිමි මීටර් 100 නිදහස් ආර ඉසව්ව නියෝජනය කරන අතර, කිමිකෝ කාන්තා මීටර් 100 පසුපස ආර ඉසව්ව නියෝජනය කරනවා.

මැතිව් ඔලිම්පික් තරග බිමට පිවිසෙන්නේ අගෝස්තු 9 වැනිදායි.

කිමිකෝ අගෝස්තු 7 වැනිදා තරග බිමට පිවිසීමට නියමිතයි.

ඔවුන් දෙදෙනාගේම පුහුණුකරු ලෙස බුද්ධි මනෝජ් අබේසිංහ කටයුතු කරනවා.

සුදේෂ් පිරිස් රියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කරන අනෙක් ශ්‍රී ලාංකික ක්‍රිඩකයායි.

ඔහු තරග බිමට පිවිසෙන්නේ කිලෝග්‍රෑම් 62 බර පංතිය නියෝජනය කරමින්.

ආර්.එම්.ආර්. රත්නායක, සුදේෂ්ගේ පුහුණුකරු ලෙසින් කටයුතු කරනවා.

සුදේෂ් රියෝ ඔලිම්පික් තරග බිමට පිවිසෙන්නේ අගෝස්තු 8 වැනිදා.

දිවයිනෙන් පිටතට යෑමට මත්තෙන් මේ ක්‍රීඩක ක්‍රිඩිකාවන් මාධ්‍යයට අදහස් පළ කළා.

 

 

 

 

Comments

comments

SHARE