කාය වර්ධන හිටපු ලේකම්වරු දෙදෙනෙකුට විශේෂ විමර්ශනයක්…

68
0

ශ්‍රී ලංකා කාය වර්ධන සම්මේලනයේ හිටපු ලේකම්වරුන් දෙදෙනෙකු අද ක්‍රීඩා අමාත්‍යාංශ විශේෂ ත්‍රිපුද්ගල කමිටුව හමුවට කැඳවා තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා කාය වර්ධන සම්මේලනයේ පසුගිය කාලයේ සිදුව ඇතැයි කියන මුල්‍ය වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විමර්ශනය කිරීම සඳහායි. ඒ අනුව හිටපු ලේකම්වරුන් වන පුලස්ති තරංග සහ හේමාල් ඩයස් මෙම විමර්ශන කමිටුව හමුවට පැමිණෙනු ඇති.

එමෙන්ම මීට පෙර ශ්‍රී ලංකා කාය වර්ධන සම්මේලනයේ වත්මන් සභාපති කිත්සිරි ප්‍රනාන්දු සහ උප භාණ්ඩාගාරික වසන්ත ප්‍රනාන්දු ද මෙම විශේෂ ත්‍රිපුද්ගල කමිටුව හමුවට කැඳවා කරුණු සටහන් කරගෙන තිබෙනවා.

ව්‍යවස්ථානුකූලව නිලවරණයක් පවත්වා එහි සභාපති තනතුරට පත් වූ තමාට කාය වර්ධන සම්මේලනයේ ඇතැම් නිලධාරීන් බාධා පමුණුවන බවට වත්මන් සභාපතිවරයා මීට පෙර ක්‍රීඩා අමාත්‍යවරයාට පැමිණිල්ලක් කළා.

මෙම සිදුවීම පිටුපස ශ්‍රී ලංකා කාය වර්ධන සම්මේලනයේ හිටපු නිලධාරීන් කිහිප දෙනෙකු ද සිටින බවයි එම පැමිණිල්ල මගින් ඔහු පෙන්වා දී තිබුණේ. ඒ සම්බන්ධයෙන් වත්මන් සභාපතිවරයා ක්‍රීඩා අමාත්‍යාංශයට ලිපිගොනු කිහිපයක් ද භාරදී තිබුණා.

මේ අතර, කාය වර්ධන සම්මේලනයේ උද්ගතව ඇති වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් එහි නිලධාරීන් පිරිසක් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසයට ද පැමිණිල්ලක් කර තිබෙනවා.

Comments

comments

SHARE