දෙවන ගැටුමට කැන්ගරුවන් සහ සිංහයින් හෙට ගාලු පිටියට

117
0

ඔස්ට්‍රේලියාව සමග වොන් – මුරලි කුසලානය වෙනුවෙන් පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයට මුහුණදීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයට පිවිසෙනු ඇති.

පළමු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 106ක ජයක් ලැබීම නිසා ඔවුන් තරගාවලියේ පෙරමුණේ පසුවනවා. කොහොම නමුත් ඔවුන්ගේ ප්‍රධාන වේග පන්දු යවන්නා වන නුවන් ප්‍රදිප් ද මේ වනවිට අබාධයකට ලක්ව තිබීම සැලකිය යුතු අවාසියක් වනු ඇති.

හෙට උදැසන ඔහුගේ තත්වය පරික්ෂාකර බලා කණ්ඩායමට එක් කරගන්නවාද යන්න තීරණය කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය මහතා අප සමගින් පැවසුවේ.

යම් හෙයකින් නුවන් හෙට තරගයට ක්‍රීඩා නොකළහොත් විශ්ව ප්‍රනාන්දුට හෙට තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිවීමට වැඩි ඉඩක් පවතිනවා.
දිගින් දිගටම අසාර්ථක වුවත් හෙට තරගයේදීත් දිමුත් සහ කෞෂාල් ආරම්භක පිතිකරුවන් ලෙස යෙදවීමට තේරීම් කමිටුවේ අවධානය යොමුව තිබීම පුදුමයට කරුණක්.

ගාල්ල තණ තීරුව කවදත් දඟ පන්දුයවන්නන්ට වාසි දායක නිසා හෙට තරගයේදී දෙපිලේම දගපන්දු යවන්නන්ට වැඩි වගකීමක් පැවරෙනු ඇති. මේ නිසාම නවක දඟ පන්දු යවන ක්‍රීඩක ජෝන් හොලන්ඩ් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට කැදවා තිබෙනවා.
ඒ අනුව ඔහු ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකරගන්නා 444වන ක්‍රීඩකයායි.

ශ්‍රී ලංකා කණ්ඩායම ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ටෙස්ට් තරග 27කට සහභාගී වී තිබෙනවා. ඉන් තරග 15ක් ම ජයගන්නට ඔවුන් සමත් වීම විශේෂත්වයක්.

එමෙන්ම අවස්ථා 3කදී මෙම ක්‍රීඩාංගනයේදී කැන්ගරුවන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වී තිබෙනවා. ඉන් අවස්ථා දෙකකදීම පරාජයේ අමිහිරි වේදනාවන් ශ්‍රී ලංකා කණ්ඩායමට උරුම කරදෙන්නට ඔස්ට්‍රේලියාවට හැකි වුනා.

කොහොම නමුත් ඔස්ට්‍රේලියාව අවසන් වරට ගාල්ලේදී ටෙස්ට් තරගයකට එක්වුණේ 2011 වසරේදී. එම තරගය ලකුණු 125කින් ජයගන්නට කැන්ගරුවන් සමත්වුණා.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර දෙවන ටෙස්ට් තරගය හෙට උදෑසන 10ට අරම්භවීමට නියමිතයි.

Comments

comments

SHARE