පළමු දිනයේ වැඩි වාසිය ශ්‍රී ලංකාවට

1775
0

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ඔස්ට්‍රේලියාව සමග අද ආරම්භ වුනු දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ඉතිහාසයට එක් වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන 250වන ටෙස්ට් තරගය ලෙසයි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා දෙවරක් නොසිතාම පන්දුවට පහරදීමට තීරණය කළා. වේග පන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු ශ්‍රී ලංකාව වෙනුවෙනුත් ජෝන් හෝලන්ඩ් ඔස්ට්‍රේලියාව වෙනුවෙනුත් මෙම තරගයේදී ටෙස්ට් වරම් හිමිකර ගත්තා.

සුපුරුදු පරිදි ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කලේ දිමුත් කරුණාරත්න සමගින් කෞෂාල් සිල්වා. වෙනදා මෙන්ම මෙම ඉනිමේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදෙන්නට ඔවුන් දෙදෙනාට හැකි වුනේ නැහැ. මුළු ලකුණු සංඛ්‍යාව 9ක් වෙද්දී දිමුත්ට සහ කෞෂාල්ට ක්‍රීඩාගාරයේ අසුන් පනවන්නට මිචෙල් ස්ටාර්ක් පියවර ගත්තා.
දිගින් දිගටම තේරීම් කමිටුවේ අනුකම්පාව ලබන මෙම ආරම්භක පිතිකරුවන් දෙදෙනා අවසන් ඉනිම 18කදීම ගොඩ නගා ඇත්තේ අර්ධ ශතක සබධතාවක් පමනයි.

දිමුත්ගේ අවසන් ඉනිම 15 තුලදීම ඔහු වාර්තා කර ඇත්තේ අර්ධ ශතක 2ක් පමණක් වන අතර කෞෂල් සිය අවසන් ටෙස්ට් ඉනිම 20ටම ලබාගෙන ඇත්තේ අර්ධ ශතක 3ක් පමණක් වීම පිතිකරුවන් ලෙස ඔවුන්ගේ අසාර්ථක භාවයට කදිම නිදසුන්.

කෙසේ නමුත් ආරම්භයේදීම බිඳ වැටුන ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගුවේ කුසල් ජනිත් සහ කුසල් මෙන්ඩිස්. ඔවුන් දෙදෙනා ඕස්ට්‍රේලියානු පන්දුයවන්නන්ට හොදින් පහරදෙමින් තුන්වන කඩුල්ලට ලකුණු 108ක් එක්කලා.

දිවා අහාරයට පෙර සිය දෙවන අර්ධ ශතකය සිය නම ඉදිරියේ ලියා ගන්නට මෙන්ඩිස් සමත් වුනා. දිවා අහාරයට තරගය නතර කරනවිට ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලකුණු 109ක් ලබාගෙන සැනසිලිදායක තත්වයක පසුවුණා.

සිය කණ්ඩායමට හිසරදයක් වෙමින් පැවති මෙම සබධතාවට නැවතීමේ තිත තැබුවේ නේදන් ලයන්. ඒ ලකුණු 49ක් ලබාගෙනසිටි කුසල් ජනිත් දවාගනිමින්. එම දැවියාමෙන් පසු නායක මැතිව්ස්, මෙන්ඩිස් සමගින් පිටියේ එක්වුණා. ඔවුන් දෙදෙනා ඕස්ට්‍රේලියානු පන්දුයවන්නන්ට නොබියව මුහුණ දෙමින් සිව්වන කඩුල්ලට ලකුණු 67ක් එක්කලා.

සිය දෙවන ශතකය ආසන්නයට පැමිණි මෙන්ඩිස් ලකුණු 86කට දවිගියේ එම කඩුල්ලේ සබදතාව අවසන් කරමින්. ඒ වනවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 4කට ලකුණු 184ක් ලෙස දැක්වුණා. එම ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 15ක් එක්වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ 5වන කඩුල්ලත් බිඳ වැටුනා. උපනායක දිනේෂ් චන්දිමාල් පළමු ඉනිමේදී රැස්කළේ ලකුණු 5ක් පමණියි.

යලි ඕස්ට්‍රේලියව දෙසට යමින් තිබු තරගයේ පාලනය ශ්‍රී ලංකාව දෙසට රැගෙන ආවේ ඇන්ජෙලෝ මැතිව්ස් සහ ධනංජය ද සිල්වා ගොඩ නැගු ලකුණු 25ක කෙටි සබධතාවයි.
මේ අතරවාරයේදී මැතිව්ස් සිය 25වන ටෙස්ට් අර්ධ ශතකය වාර්තාකලා. ලකුණු 54ක් ලබා සිටියදී මැතිව්ස් දවාගන්නට මිචෙල් මාර්ෂ් සමත්වුනා. මැතිව්ස්ගේ දැවියාමෙන් පසු පිටියේ එක්වුණේ ධනංජය සමගින් දිල්රුවන් පෙරේරා.

ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 250හේ සීමාව කරා රැගෙන ගියා.
හත්වන කඩුල්ලට ධනංජය සහ දිල්රුවන් ලකුණු 35ක් එක්කලා. දිල්රුවන් දැවීගියේ ලකුණු 16කට. හොදින් පන්දුවට පහරදෙමින් සිටි ධනංජය ද සිල්වා අපරික්ෂාකාරී පහරක් හේතුවෙන් ලකුණු 37කට දවිගියා. ඒ ජෝන් හෝලන්ඩ්ට සිය මංගල ටෙස්ට් කඩුල්ල හිමිකර දෙමින්.

ඒ වනවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 8කට ලකුණු 265ක් ලෙස දැක්වුනා. එම ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 15ක් පමණක් එක්වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් පිතිකරුවන් දෙදෙනා දවා ගන්නට මිචෙල් ස්ටාර්ක් සමත්වුනා. ඒ වනවිට ශ්‍රී ලංකා පළමු ඉනිම දැක්වුණේ සියල්ලන් දැවී ලකුණු 281ක් ලෙසයි.
ගාලු පිටියේ විදෙස් පන්දුයවන්නෙකු දැක්වූ ඉහලම දක්ෂතාව සිය නම ඉදිරියේ සනිටුවන් කරගත් මිචෙල් ස්ටාර්ක් ලකුණු 44කට කඩුලු 5ක් දවා ගත්තා. ඊට අමතරව නේදන් ලයන් කඩුලු 2ක් බිඳ හෙලුවා.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ඉනිම අරම්භකලේ ජෝ බර්න්ස් සහ ඩේවිඩ් වෝනර්.
සිය මංගල පන්දුවාරය යැවීමට පන්දුව අතටගත් විශ්ව ප්‍රනාන්දු ඉනිමේ දෙවන පන්දුවෙන්ම බර්න්ස් ක්‍රීඩාගාරයට හරවා යැවුවා.  කෙසේ නමුත් ඉන් අනතුරුව පිටියේ එක්වුණු වෝනර් සහ උස්මාන් කවජා ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අත දිගහැර පහරදුන්නා. ඔවුන් දෙදෙනා පන්දුවාර 13යි එක පන්දුවක් අවසානයේ ලකුණු 54ක් රැස් කළා.

මෙම සබධතාව නතර වුනේ දිනයේ ක්‍රියාත්මක වුනු අවසන් පන්දුවාරයේදී වෝනර් දැවී යාමත් සමගයි. එහිදී ලකුණු 42ක් ලබාගෙන සිටි වෝනර් දවා ගත්තේ දිල්රුවන් පෙරේරායි.

ඒ සමගම අද දිනයට තරගය නතරකරන්නට විනිසුරුවන් පියවර ගත්තා. ඒ වනවිට ඔස්ට්‍රේලියාව කඩුලු 2ක් දැවී ලකුණු 54ක් ලබාගෙන සිටියා. පළමු දිනය නිමාවනවිට ඔවුන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 227ක් පසුපසින් සිටින්නේ තවත් කඩුලු 8ක් අතැතිවයි.

Comments

comments

SHARE