ඔස්ට්‍රේලියාවට එරෙහිව රංගනගෙන් කඩුලු ත්‍රිත්වයක්

4586
0

ඔස්ට්‍රේලියාව සමග දැන් ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී දගපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් කඩුලු ත්‍රිත්වයක් ලබා ගත්තා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරගයකදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් දෙවන පන්දු යවන්නා වන්නේද රංගන හේරත්. මීට පෙර වේගපන්දු යවන ක්‍රීඩක නුවන් සොයිසා මෙම දස්කම දක්වා තිබෙනවා.

රංගනගේ කඩුලු ත්‍රිත්වයට පළමුව ගොදුරුවුනේ ඇඩම් වෝජස්. දිමුත්ගේ විශිෂ්ට උඩපන්දු රැකීම හමුවේ වෝජස් දැවිගියා. ඉන් අනතුරුව පිටියට පිවිසි පීටර් නෙවිල් රංගනගේ දෙවන කඩුල්ල ලෙස දැවීගියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවයි.
25 වන පන්දුවාරයේ පිට පිට කඩුලු දෙකක් දවාගත් රංගන එම පන්දුවාරයේ අවසන් පන්දුව යැවීම සදහා සුදානම් වුනා.

මෙම තීරණාත්මක පන්දුවට මුහුණදීමට සිදුවුනේ ඊයේ දිනයේදී ශ්‍රී ලංකා ඉනිම වැනසූ මිචෙල් ස්ටාර්ක්ට. රංගනගේ වමතින් ගිලිහුණු එම පන්දුව ගුවනේ පාවී විත් පිත්තේ නොවැදී මිචෙල් ස්ටර්ක්ගේ පා ආවරණය සිපගත්තා. එසැනින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විනිසුරුගෙන් ඉල්ලා සිටියේ එය දැවියාමක් ලෙස සටහන් කරන ලෙසයි.නමුත් එම ඉල්ලීම විනිසුරුවරයා ප්‍රතික්ෂේප කළා.

එහිදී නායක ඇන්ජෙලෝ මැතිව්ස් තීරණය කලේ එම තීරණය අභියෝගයට ලක්කරමින් තෙවන විනිසුරුගේ සහය ලබා ගැනීමටයි. පුනරූපන දර්ශන නැරඹු තෙවන විනිසුරු තීරණය කලේ එය දැවියාමක් ලෙසයි.

ඒ සමගින් ටෙස්ට් තරගයකදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමේ වාසනාව රංගන හේරත්ට හිමිවුණා.

Comments

comments

SHARE