ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාවට එරෙහිව ඓතිහාසික ටෙස්ට් තරඟාවලි ජයග්‍රහණයක් අභියස

3708
0

අද දෙවන දිනයට තරගය ආරම්භ කරනවිට ඔස්ට්‍රේලියාව සිය පළමු ඉනිම සදහා කඩුලු 2ක් දැවී ලකුණු 54ක් ලබාගෙන සිටියා.

නොදැවී පන්දුවට පහරදෙමින් සිටියේ ජෝ බර්න්ස් සමගින් උස්මාන් කවාජා.

ඔවුන් දෙදෙනාට පහසුවෙන් ලකුණු ලබා ගන්නට ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.

දෙවන දිනයේ කඩුලු දඩයම ආරම්භ කල දිල්රුවන් පෙරේරා කවාජා ලකුණු 11කට පිටියෙන් ඉවත්කලා.

ඉන් අනතුරුව පිටියට පිවිසි නායක ස්ටීවන් ස්මිත්ට  ආ විගස යලි ක්‍රීඩාගාරයට යන්නට සිදුවුනා.

ඒ රංගන හේරත්ගේ පන්දුවක් ගුවනේ පාවීවිත් ඔහුගේ කඩුල්ල සිපගැනීම නිසයි.

ඒ වනවිට ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව කඩුලු 4කට ලකුණු 59ක් ලෙස දැක්වුණා.

පස්වන කඩුල්ල සදහා වෝජස් සහ මිචෙල් මාර්ෂ් පිටියේ ස්ථාවර වන්නට උත්සහ කලත් එයද සාර්ථක වුනේ නැහැ.

ඕස්ට්‍රේලියානු පළමු ඉනිමේ 25වන පන්දුවාරය යැවූ රංගන හේරත් කන්ගරුවන්ට අමතක නොවන පාඩමක් උගන්වන්නට කටයුතු කළා.

ඔහු එම පන්දු වාරයේදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගත්තේ ගාලු ක්‍රීඩාංගනයට රැස්ව සිටි දහසකට අධික ක්‍රීඩා ලෝලීන් අමන්දානන්දයට පත් කරමින්.

ඇඩම් වෝජස් ,පීටර් නෙවිල් සහ මිචෙල් ස්ටාර්ක් රංගනගේ කඩුලු ත්‍රිත්වයේ ගොදුරු බවට පත්වුනා.

රංගන හේරත් ඉතිහාසයට එක්වුණේ ටෙස්ට් තරගයකදී කඩුලු ත්‍රිත්වයක් වාර්තාකළ වයස්ගතම ක්‍රීඩකයා ලෙසයි.

ස්ටාර්ක් දැවියනවිට ඕස්ට්‍රේලියා ලකුණු පුවරුව කඩුලු 7කට ලකුණු 80ක් ලෙස සටහන්ව තිබුනා.

අනතුරුව ක්‍රියාත්මක වුනු දිල්රුවන් පෙරේරා ලකුණු 9ක් තුල නේදන් ලයන් සහ ජෝෂ් හෙසල්වුඩ් දවාගත්තා.

ඒ වනවිට දිල්රුවන් සහ රංගන අතරේ කඩුලු 4බැගින් බෙදීගොස් තිබුනා.

ඕස්ට්‍රේලියා පළමු ඉනිමේ පළමු වරට පන්දුව අතට ගත් ලක්ෂාන් සඳකැන් සිය දෙවන පන්දුවෙන්ම මිචෙල් මාර්ෂ් දවා ගත්තේ ඕස්ට්‍රේලියා පළමු ඉනිමට නැවතීමේ තිත තබමින්.

ඒ වනවිට ඕස්ට්‍රේලියා පළමු ඉනිම දැක්වුණේ සියල්ලන් දැවී ලකුණු 106ක් ලෙසයි.

මෙය කැන්ගරුවන් ටෙස්ට් ඉනිමකදී ශ්‍රී ලංකාව හමුවේ දැවීගිය අඩුම ලකුණු සංඛ්‍යාවද වනවා.

පළමු ඉනිමේදී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ඩේවිඩ් වෝනර් ලකුණු 42ක් සහ මිචෙල් මාර්ෂ් ලකුණු 27ක් රස්කලා.

කවාජා ලකුණු 11යි.

අනෙක් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10යේ සීමාව පසුකරයන්නට ඉඩ ලැබුනේ නැහැ.

දඟ පන්දු යවන්නන් හමුවේ කඩුලු 9ක් බෙදීයද්දී සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩාකරන විශ්ව ප්‍රනාන්දු එක් කඩුල්ලකට හිමිකම් කිවා.

ගාලු තණ තිරුවේ සිව්වන ඉනිමේ පිතිකරණයේ යෙදීමේ අපහසුතාව මැනවින් දන්නා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙවන ඉනිම ක්‍රීඩා කිරීම සදහා යලි පිටියට පිවිසියා,

ඒ පළමු ඉනිමේ ලකුණු 115ක වාසියක්ද සමගින්.

ශ්‍රී ලංකා පළමු ඉනිම යලි ප්‍රතිනිර්මාණය කල දිමුත් සහ කෞෂාල් ලකුණු 9ක් වෙද්දී ක්‍රීඩාගාරයේ විවේක සුව විදිමින් සිටියා.

මෙම ඉනිමේදීත් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය අසාර්ථක වුනේ තුන්වන තරගයේදී ඔවුන් ගැන දෙවරක් සිතන්නට තේරීම් කමිටුවට අවස්ථාව ලබාදෙමින්.

මුළු ලකුණු සංඛ්‍යාව 31ක් වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන්වන කඩුල්ලත් බිඳ වැටුනා.

එහිදී දැවීගියේ තරගාවලිය පුරා ලකුණු අතර සිටි කුසල් මෙන්ඩිස්.

ඔහු රැස්කළේ ලකුණු 7ක් පමණයි.

අනතුරුව මැතිව්ස් සහ කුසල් ජනිත් සිව්වන කඩුල්ලට ලකුණු 48ක් එක්කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහල නංවන්නට කටයුතු කළා.

එම සබදතාව නතරකලේ නේදන් ලයන්.

ඔහු ලකුණු 35ක් ලබාගේනසිටි කුසල් ජනිත් පිටියෙන් ඉවත්කලා.

මෙම තරගයේදීත් උපනායකයාගේ වගකීම නිසි අයුරින් ඉටුකරන්නට දිනේෂ් චන්දිමාල්ට හැකිවුණේ නැහැ.

දෙවන ඉනිමේදී ඔහු ලකුණු 13කට දවිගියා.

අනතුරුව පිටියේ එක්වුණේ මැතිව්ස් සමගින් ධනංජය ද සිල්වා.

ඔවුන් දෙදෙනා ඉනිම ගොඩනගිමින් සිටින විට නාදන් ලයන් යලි ක්‍රියාත්මක වුනා.

ඒ හොදින් පන්දුවට පහරදෙමින් සිටි මැතිව්ස් දවාගනිමින්.

ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 47ක් රස් කලේ සිය 26වන ටෙස්ට් අර්ධ ශතකයට ලකුණු 3ක් පසුපසින් සිටිමින්.

ඒ වනවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 6කට ලකුණු 121ක් ලෙස දැක්වුනා.

මෙම ඉනිමේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන හොඳම සබධතාව ගොඩනැගුවේ ධනංජය ද සිල්වා සහ දිල්රුවන් පෙරේරා.

ඔවුන් දෙදෙනා ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට අත දිගහැර පහරදෙමින් හත්වන කඩුල්ලට ලකුණු 51ක් එක්කලා.

මෙම තරගයේදීත් ලකුණු 40හේ සීමාවට ලගා වීමට පෙර ධනංජය දැවී යාම කැපී පෙනුනා.

සිය ටෙස්ට් දිවියේ ඉහලම ලකුණු සංඛ්‍යාව ලෙස ලකුණු 37ක් ලබා සිටියදී ඔහු දැවී ගියා.

ඔහුගේ දැවියාමෙන් පසු දිල්රුවන් සමගින් රංගන පිටියේ එක්වුණා.

පන්දුවෙන් සිය යුතුකම් කොටස මැනවින් ඉටුකළ ඔවුන් දෙදෙනා පිතිකරණයෙන්ද සිය වගකීම් කොටස මැනවින් ඉටුකලා.

පළපුරුදු පිතිකරුවෙකුගේ භූමිකාව නිරුපනය කල දිල්රුවන් අද සිය දෙවන ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළා.

දිල්රුවන් සහ රංගන අටවන කඩුල්ලට ලකුණු 61ක් එක්කරමින් සිටියදී ජෝන් හෝලන්ඩ් ක්‍රියාත්මක වුනා.

ඒ ලකුණු 26ක් ලබාගෙන සිටි රංගන හේරත් දවා ගනිමින්.

අනතුරුව පන්දුව අතට ගත් මිචෙල් ස්ටාර්ක් දිල්රුවන් පෙරේරා ලකුණු 64කට පිටියෙන් ඉවත් කළා.

විශ්වට එකදු ලකුණක් හෝ ලබාගන්නට ස්ටාර්ක් ඉඩලබාදුන්නේ නැහැ.

ඔහු ලකුණු 50කට කඩුලු 6ක් දවා ගත්තා.

ශ්‍රී ලංකා දෙවන ඉනිම සියල්ලන් දැවී ලකුණු 237කට සිමා වුනා.

සමස්ත තරගයේදී ස්ටාර්ක් ලකුණු 94කට කඩුලු 11ක් බිඳ හෙලුවා.

එය ටෙස්ට් තරගයකදී ශ්‍රී ලංකාවට එරෙහිව ඕස්ට්‍රේලියානු පන්දුයවන්නෙකු දැක්වූ හොදම දක්ෂතාවයි.

ඕස්ට්‍රේලියානුවන් දෙවන ඉනිම සදහා පන්දුවට පහරදීමට පිටියට පිවිසියේ ලකුණු 413ක ජයග්‍රාහී ඉලක්කයක් හබයාමේ අසීරු ඉලක්කයද සහිතවයි.

දෙවන ඉනිම ආරම්භ කල ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට මුහුණදීමට සිදුවුණේ ප්‍රබල අභියෝගයකටයි.

පළමු ඉනිමේදී මෙන්ම මෙම ඉනිමේදීත් ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් ආරම්භයේ පටන්ම සිය සටන ආරම්භ කළා.

පළමු පන්දු වාරයේදීම ජෝ බර්න්ස් පිටියෙන් ඉවත්කරන්නට රංගන කටයුතු කළා.

අනතුරුව ක්‍රියාත්මක වූ දිල්රුවන් පෙරේරා, නාදන් ලයන් සහ උස්මාන් කවාජා පිටියෙන් ඉවත්කලේ ඕස්ට්‍රේලියානුවන් අන්ද මන්ද කරමින්.

අද දෙවන දිනයට තරගය අවසන් කරනවිට ඔස්ට්‍රේලියාව කඩුලු 3ක් දැවී ලකුණු 25ක් ලබාගෙන සිටියා.

ඒ ජයග්‍රහණය සදහා තවත් ලකුණු 388ක් පසුපසින් සිටිමින්.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Comments

comments

SHARE