විශ්වයේ මහා ක්‍රීඩා සැණකෙළිය ඇරඹේ

156
0

 

සිව් වසරකට වරක් එළැඹෙන ජගත් කෙළිබිමේ මහා මංගල්‍ය  එහි 31 වන දිගහැරුමට ඊයේ ආරම්භය ලබාදුන්නා.

ඒ, දකුණු ඇමරිකානු රටක පැවැත්වෙන  පළමු ඔලිම්පික් උළෙලේ සත්කාරකත්ව දැරීමේ දුර්ලභ අවස්ථාව බ්‍රසීලයේ රියෝද ජැනෙයිරෝ නුවරට හිමිකර දෙමින්.

මෙවන් දැවැන්ත උළෙලක් සංවිධාන කිරීමට බ්‍රසීලයට ඇති හැකියාව පිළිබඳ සැකපළ කළ බොහෝ දෙනාට සාර්ථක පිළිතුරක් සපයමින් අති විච්ත්‍රවත්  සමාරම්භක උත්සවයක් ලොවට තිලිණ කරන්නට රියෝ ඔලිම්පික් බලධාරීන් සමත් වුණා.

2016 රියෝ ඔලිම්පික් උළෙලේ ප්‍රධාන  තරග බිම වන මරකානා ක්‍රීඩාංගනය රියෝ ඔලිම්පික් සමාරම්භක උළෙලට ඉඩහසර වෙන්කර දුන්නා.

මෙම ක්‍රීඩාංගණයට  රැස්ව සිටි 80,000 කට ආසන්න ක්‍රීඩා  ලෝලීන් ඉදිරියේ සමාරම්භක උළෙල ආරම්භ වුණේ ශ්‍රී  ලංකා වේලාවෙන් අද අලුයම 4.30 ට පමණ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන්කී මූන් මහතා ඇතුළු ලොව පුරා රාජ්‍ය  නායකයින් රැසක් සමාරම්භක අවස්ථාවට එක්ව සිටියා.

බ්‍රසීල  ජාතික ධජය ගුවනට එසවීමෙන් අනතුරුව සමාරම්භක උළෙල ආරම්භ වුණා.

 

සුප්‍රකට බ්‍රසීල චිත්‍රපට අධ්‍යක්ෂ  ෆර්නැන්ඩෝ මේරේලිස්ගේ නිර්මාණ අධ්‍යක්ෂණයෙන්  හැඩ ගැන්වුණු රියෝ සමාරම්භක උළෙලට නවීන තාක්ෂණය සහ බ්‍රසීල සංස්කෘතිය මැනවින් සංකලනය කර තිබුණා.

 

වෘත්තීය නර්තන ශිල්පීන්ගේ සහභාගීත්වය ඇතිව ත්‍රිමාන ප්‍රක්ෂේපන  යොදා ගනිමින් බ්‍රසීල  ඉතිහාසය ප්‍රතිනිර්මාණය  කළ සමාරම්භ උත්සවයට ක්‍රීඩා ලෝලීන්ගෙන්  ඉහළ ප්‍රතිචාරයක්  හිමි වුණා.

 

සමාරම්භක උළෙලේ පළමු අදියර අවසන් වීමත් සමග බ්‍රසීලයේ ප්‍රධාන  භාෂාව වන පෘතුගීසි භාෂාවේ අකාරාදී පිළිවෙළ අනුව ඔලිම්පික් උළෙලට සහභාගී වන රටවල් 207 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්  මරකානා ක්‍රීඩාංගනයට  පිවිසියේ මෙලෙසින්.

මෙවර රියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් සංඛ්‍යාව  11,000 කට අධිකයි.

සිය රටවල පවතින අයහපත් දේශපාලන වාතාවරණය නිසා අවතැන් වූ 10 දෙනෙකුගෙන් සමන්විත ක්‍රීඩා  කණ්ඩායමක් ද රියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කරනවා.

 

ඔලිම්පික් ධජය යටතේ ඔවුන් ක්‍රීඩාංගනය  වෙත පිවිසෙන විට රැස්ව සිටි ක්රීකඩා ලෝලීන්ගෙන්  ඉහළ පිළිගැනීමක් හිමිවුණා.

 

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී  ලංකා කණ්ඩායම ආචාර පෙළපාලියෙන් මරකානා ක්‍රීඩාංගනයට  පිවිසියේ මෙලෙසින්.

 

ශ්‍රී  ලංකා කණ්ඩායමේ නායකත්වය දරන මැරතන් ක්‍රීඩක  අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ ශ්‍රී ලංකා ධජය රැගෙන යාමේ ගෞරවයට හිමිකම් කීවා.

තහනම් උත්තේජක භාවිතය හේතුවෙන් අවසන් මොහොත තෙක් ඔලිම්පික් සහභාගීත්වය අවිනිශ්චිත තත්ත්වයක පැවැති රුසියානු කණ්ඩායම ද මෙලෙසින් ආචාර පෙළපාලියේ ගමන් ගත්තා.

මුලින් 389 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් රියෝ ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබා තිබුණත්, පසුව ජාත්‍යන්තර  ඔලිම්පික් කමිටුව තීරණය කළේ ඉන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 271 දෙනෙකුට පමණක් රියෝ ඔලිම්පික් වරම් ලබාදීමටයි.

සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් මරකානා ක්‍රීඩාංගනයට  පැමිණීමෙන් අනතුරුව බ්‍රසීල  වැඩ බලන ජනාධිපති මිෂෙල් ටෙමීර් රියෝ ඔලිම්පික් උළෙල නිල වශයෙන් ආරම්භ කළ බව ප්‍රකාශ  කළා.

 

ඔලිම්පික් ධජය මරකානා ක්‍රීඩාංගනයට  රැගෙන ආවේ ඉන් අනතුරුවයි.

 

ඔලිම්පික් ධජය එසවීමෙන් පසු සමාරම්භක උත්සවයේ දෙවන අදියර ආරම්භ වුණා.

 

නැටුම්, ගැයුම් සහ වැයුම්වලින් සමන්විත වු එම අදියරත් බොහෝ දෙනාගේ සිත් ගත්තා.

 

දින 95 ක් පුරා ලොව පුරා සංචාරයේ යෙදුණු ඔලිම්පික් ගිනි සිළුව මරකානා ක්‍රීඩාංගනය වෙත රැගෙන ආවේ ඉන් අනතුරුවයි.

ග්‍රීසියේ  අතෑන්ස් නුවර ඓතිහාසික ඔලිම්පියා නගරයේදී දල්වනු ලැබූ මෙම ගිනි සිළුව සුවිශේෂී පුද්ගලයින් 12,000 කගේ අතින් අතට යමින් ගොඩබිමින් කිලෝමීටර් 20,000 ක සහ ගුවනින් සැතපුම් 10,000 ක සංචාරයක් නිම කරමින් මෙසේ එහි ගමනාන්තයට ළගා වුණා.

රියෝ ඔලිම්පික් උලෙළේ ඔලිපික් පහන දැල්වීමේ ගෞරවය හිමිව තිබුණේ බ්‍රසීලයෙන්  බිහි වූ සුපිරි  පාපන්දු ක්‍රීඩකයෙක්  වන පේලේට.

නමුත්, අයහපත් සෞඛ්‍ය  තත්ත්වය හේතුවෙන් ඔහු එම අවස්ථාවට සහභාගී වුණේ නැහැ.

මේ නිසා රියෝ ඔලිම්පික් පහන දැල්වීමේ වාසනාව  හිමි වුණේ බ්‍රසීල  මැරතන් ක්‍රීඩක වැන්ඩෙර්ලි කොර්ඩෙයිරෝට.

පුරා පැය 3 කට අධික කාලයක් තිස්සේ පැවැති රියෝ ඔලිම්පික් සමාරම්භක උළෙලේ නිමාව සනිටුහන් වුණේ දින 16 ක උද්වේගකර ක්‍රීඩා  අත්දැකීමකට කරලිය භාර කරමින්.

 

 

 

Comments

comments

SHARE