කැන්ගරුවන් , සිංහයන් ඉදිරියේ දණ නමයි [VIDEO]

419
0

ජගත් ටෙස්ට් ක්‍රිකට් පිටියේ අංක එසේ පසුවන ප්‍රබල  ඕස්ට්‍රේලියානු ක්‍රිකට්  කණ්ඩයාමට අද ශ්‍රී ලංකාව හමුවේ දණ නමන්නට සිදුවුණා.

ඒ, දෙරට අතර ටෙස්ට් ක්‍රිකට්  තරගාවලියේ දෙවන වතාවටත් දැවැන්ත පරාජයකට මුහුණ දෙමින්.

වසර 17 කට පසු ඔස්ට්‍රේලියාවට  එරෙහිව ටෙස්ට් තරගාවලි ජග්‍රහණයක්  වාර්තා කළ ඇන්ජලෝ මැතිව්ස් ප්‍රමුක ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කලකට  අමතක නොවන පාඩමක්  ඕස්ට්‍රේලියානුවන්ට  කියා දුන්නා.

අද තුන්වන දිනයට තරගය ආරම්භ කරන විට ජග්‍රහණය  සඳහා ලකුණු 413 ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් සිටි කැන්ගරුවන් ලකුණු 25කට කඩුලු 3 ක් දැවී ඉතා අසරණ තත්ත්වයක පසුවුණා.

කෙසේ වුවත්, අද ඉනිම ආරම්භ කළ ඩේවිඩ් වෝනර් සහ ස්ටීවන් ස්මිත් තරගයේ පාලනය සියතට ගන්නට උත්සාහ කළේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අත දිගහැර පහර දෙමින්.

නමුත්, දිල්රුවන් පෙරේරාගේ දඟ පන්දුවෙන් ගැලවෙන්නට ඔවුන් දෙදෙනාටම හැකිවුණේ නැහැ.

වෝනර් ලකුණු 41 කටත් ස්මිත් ලකුණු 30 කටත් පිටියෙන් ඉවත්කළ දිල්රුවන් තරගයේ වාසිය ශ්‍රී  ලංකාව දෙසට නතුකර ගත්තා.

ලද කෙටි අවස්ථාවෙන් උපරිම ඵල නෙලාගත් ලක්ෂාන් සඳකැන්, මිචෙල් මාෂ් පිටියෙන් ඉවත් කළේ ඕස්ට්‍රේලියානුවන්  තවත් අසරණ කරමින්.

ඇඩම් වෝර්ජර් සහ ජොස් හෙසල්වුඩ් දවා ගනිමින්දෙවන ඉනිමේදී ඕස්ට්‍රේලියානු  පිතිකරුවන්ගේ භීතිකාව බවට පත්වුණු දිල්රුවන් ඕස්ට්‍රේලියානු  පසුපෙළ වනසා දැමුවා.

පීටර් නෙවිල් විශිෂ්ඨ ආකාරයෙන් දුවද්දී දැවී යාමකට හසුකරගත් කුසල් මෙන්ඩිස් ප්‍රමුඛ ශ්‍රී  ලංකා ක්‍රීඩකයින්  දිවා ආහාරයෙන් පැයක් ඉක්ම යන්නටත් මත්තෙන් ඕස්ට්‍රේලියානුවන්ට  කලකට අමතක නොවන පාඩමක් ඉගැන්වූයේ ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජග්‍රහණයක්  ශ්‍රී  ලංකා මාතාවට උරුම කර දෙමින්.

දෙවන ඉනිමටඕස්ට්‍රේලියානුවන්ට  සියල්ලන් දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 183 ක් පමණයි.

ඔවුන් පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 106 ක් රැස් කළා.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී  ලංකාව සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 281 ක් රැස් කළ අතර, ඔවුන්ගේ දෙවන ඉනිම දැක්වුණේ සියල්ලන් දැවී ලකුණු 237 ක් ලෙසයි.

ඕස්ට්‍රේලියා  දෙවන ඉනිම වැනසූ දිල්රුවන් පෙරේරා සිය ටෙස්ට් ඉනිමක හොඳම පන්දු යැවීම සනිටුහන් කරමින් ලකුණු 70 කට කඩුලු 6 ක් බිඳ හෙලුවා.

ඔහු මෙම තරගයේදී කඩුලු 10 ක් ලබා ගත්තේ ටෙස්ට් තරගයකදී පළමු වරට එවන් දස්කමක් සිදු කරමින්.

එමෙන්ම, අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකදී  ටෙස්ට් කඩුලු 50 සීමාව පසුකළ ශ්‍රී  ලාංකික පන්දු යවන්නා ලෙසත් දිරුවන් වාර්තා පොත් අතරට එක්වුණා.

ඔහු එම කඩඉම පසු කරන්නට ක්‍රීඩාකර  ඇත්තේ ටෙස්ට් තරග 11 ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායමක් ටෙස්ට් තරගාවලියකදී කැන්ගරුවන් පරාජය කළේ 1999 වසරෙන් පසුවයි.

ලකුණු 229 කින් මෙම තරගය ජයගත් ශ්‍රී   ලංකාව දෙරට අතර ටෙස්ට් ක්‍රිකට්  වංශ කතාවේ දැවැන්තම පරාජය ඕස්ට්‍රේලියානුවන්ට  උරුම කර දෙන්නට කටයුතු කළා.

තරගයේ වීරයා ලෙසින් දිල්රුවන් පෙරේරා සම්මාන ලැබුවා.

ඔස්ට්‍රේලියාව  සහ ශ්‍රී  ලංකාව අතර අවසන් ටෙස්ට් ක්රි කට් තරගය ලබන 13 වැනිදා කොළඹ එස්.එස්.සී.ක්‍රීඩාංගනයේදී දී පැවැත්වීමට නියමිතයි.

Comments

comments

SHARE