තව මාස දෙකකින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තහනමක් – ඔලිම්පික් සභාපතිවරයා රියෝ නුවරදී කියයි

199
0

ක්‍රීඩා පනත හා ක්‍රීඩා රෙගුලාසි ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේද අනුව වෙනස් කරන බවට වසර ගණනාවක් තිස්සේ ජගත් ඔලිම්පික් කමිටුවට ලබාදෙන ලද පොරොන්දු කිසිවක් මේ දක්වා ඉටු නොවී ඇති බැවින් තවත් මාස දෙකකින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රීඩා තහනමක් පනවන බවට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව අනතුරු ඇඟවූ බව ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පවසයි. ජගත් ඔලිම්පික් කමිටු නියෝජිතයන් සමග රියෝ හී පැවැති සාකච්ඡාවකදී මේ බව පවසා තිබේ.

රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල අතරතුරදී ජාතික ඔලිම්පික් කමිටු නිලධාරීන් හා ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ අන්තර්ජාතික සම්බන්ධතා නිලධාරී ජෙරෙම් ෆොයිඩ්, ආසියා ඔලිම්පික් කමිටු නිලධාරී හයිඩර් ෆාමර් යන මහත්වරු පැයකට අධික කාලයක් මේ සාකච්ඡාව පවත්වා ඇත.ක්‍රීඩා පනතේ සංශෝධන සිදුකරන බවට පසුගිය කාලය පුරාවටම වගකිව යුත්තන් පැවැසූවද ඒ පොරොන්දු කඩවී ඇති බැවින් තවත් මාස දෙකක් ගතවෙද්දී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව දැඩි තීන්දුවකට එළැඹෙන බව එහි නිලධාරීන් ක්‍රීඩා ඇමැතිවරයාට දැනුම් දුන්නේ යැයි ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා රියෝ ඔලිම්පික් ගම්මානයේදී මාධ්‍ය වෙත පැවැසීය.

“අවුරුදු ගණනාවක් තිස්සේ ක්‍රීඩා පනත හා ක්‍රීඩා රෙගුලාසි වෙනස් කරන බව පවසමින් හිටපු වගකිව යුත්තන් අපට බොරු කළා. වැරදි නිවැරදි කරන තුරු අපට තවත් බලා සිටින්න බෑ. ක්‍රීඩා රෙගුලාසි හා ක්‍රීඩා පනත සුදුසු පරිදි වෙනස් නොකොළොත් මාස දෙකකින් පසුව ශ්‍රී ලංකාවට ක්‍රීඩා තහනමක් පැනවීමට සිදුවෙනවා” ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු නියෝජිතයන්ගේ අදහස බව ප්‍රනාන්දු මහතා පැවැසීය. එවිට ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා ක්‍රීඩා රෙගුලාසි හා ක්‍රීඩා පනත ඉතා ඉක්මනින් සංශෝධනයට පියවර ගන්නා බව පැවසු හෙයින් සුළු ලිහිල් තත්ත්වයක් ඇතිකර ගැනීමට හැකිවූ බව ප්‍රනාන්දු මහතා පැවැසීය.

මේ සාකච්ඡාව ඉතා සුහදව හා විවෘතව පැවැති බව ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පැවසු අතර, එහි ඇති ගැඹුරු අරුත වටහා ගැනීම වඩාත් වැදගත් වනු ඇතැයි පෙන්වා දුන්නේය. මෙවැනිම තත්ත්වයක් හේතුවෙන් ක්වේට් රාජ්‍යයට ක්‍රීඩා තහනමක් පනවා එරට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙවර ඔලිම්පික් උළෙලේදී අන්තර්ජාතික ඔලිම්පික් ධජය යටතේ තරග කරන බව ඒ මහතා පෙන්වා දුන්නේය. “මා මෙහි ඇති බරපතලකම අවුරුදු කිහිපයකට කලින් දැක්කා. දැනට ඇති ක්‍රීඩා පනත වෙනස් නොකොට මේ උද්ගතව ඇති තත්ත්වයට කිසිදු විසදුමක් නෑ. ක්‍රීඩා ඇමැතිතුමා හා ජාතික ඔලිම්පික් කමිටුව ඇතැම් කාරණා පිළිබඳ එකඟ වුවත් නීතිපතිතුමාට දැනට ඇති රටේ නීතිය අනුව එකග විය නොහැකි කාරණා තිබෙනවා. ඒ නිසා ක්‍රීඩා පනත වෙනස් නොකර මේ කිසිදු ප්‍රශ්නයකට විසදුම් නෑ. ක්‍රීඩා ඇමැතිවරු කී දෙනකු මේ වැඩේ හරියාකාරව කරනවා කියා ජාත්‍යන්තරයට පොරොන්දු වුණාද?. කිසිවෙක් කලේ නෑ. ජගත් ඔලිම්පික් කමිටුව රවට්ටන්න බෑ. යථාර්තයට මුහුණදීමට සිදුවෙනවා. මෙහෙම ගියොත් රටේ ක්‍රීඩාවට අහිතකර බලපෑමක් සිදු වෙනවා” ප්‍රනාන්දු මහතා පැවැසීය. ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා මේ තත්ත්වය වෙනස් කිරීමට ගන්නා උත්ස­ාහය පිළිබඳව ජගත් ඔලිම්පික් කමිටු නියෝජිතයන්ගේ පැසසුම් ලැබුණු බවද ඒ මහතා සඳහන් කළේය. “මේ ප්‍රශ්නය විසදන්න හොඳම වේලාව මේකයි. ක්‍රීඩා ඇමැතිතුමා, අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හා ඔලිම්පික් කමිටුව යන පාර්ශව තුනටම ඕනෑ කමක් තියෙනවා. නැවැත මෙවැනි එකඟතාවක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා අවංක උත්සහයක් මේ ප්‍රශ්නයට කඩිනමින් අවශ්‍යයි” ජාතික ඔලිපිම්පික් කමිටු සභාපතිවරයා පැවැසීය.

Comments

comments

SHARE