මට ක්‍රීඩාවත් එපා වුනා – වෙඩිතැබීමේ ක්‍රීඩක මංගල රියෝ හිදී කියයි…

29792
0

ඔලිම්පික් උළෙල දෙකකදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩක මංගල සමරකෝන් කිසිවකුත් අපේක්ෂා නොකළ පරිදි ඔහු සහභාගී වූ මූලික වටයේ තරගයේදී අවසන් ස්ථානයට පත්විය. මීටර් 10 වායු රයිෆල් තරගයට එක්වූ මංගල අවසන් ස්ථානයට පත්වීම පසුපස අපූර්ව කතාවක් නිර්මාණයවී ඇත. ඒය ශ්‍රී ලංකාවේ වෙඩි තැබීමේ පරිපාලනය භාරව සිටින නිලධාරීන්ගේ අවධානයට ලක්විය යුතු කරුණක් බව සිහිපත් කළ යුතුය.

රියෝ ඔලිම්පික් උළෙලට සහභාගීවන වෙඩි තැබීමේ ක්‍රීඩකයන්ගේ ඇඳුම නියමිත ප්‍රමිතියට ඇත්දැයි සෙවීමට වෙනම නිලධාරී කණ්ඩායමක් කටයුතු කළ අතර එහිදී මංගලගේ කලිසමේ බඳ පටිය නියමිත ප්‍රමිතියෙන් තොර බව අනාවරණය වී තිබෙනවා. එබැවින් බද පටිය ඉන වටේ අගල් 2ක් කපා දමන ලෙස මංගල සමරකොන්ට තරග සංවිධායකයන් නියෝග කොට ඇත. තරග සංවිධායකයන්ගේ නියෝග අනුව බඳ පටිය අගල් දෙකකින් අඩුකර ගත්තත් ඉන් සමබරතාව සම්පූර්ණයෙන්ම ගිලිහී ගිය බවයි මංගල සමරකොන් පවසන්නේ. මෙම සිදුවීම සමස්ත තරගය පුරාවට මානසික වශයෙන් තමන්ට මහත් පීඩාවක් ගෙනදුන් බවයි මංගල පවසන්නේ.

“මගේ වෙඩි තැබීමේ තරගයට අදින ඇඳුම නියම හදිසියේම වෙනස් වුණාම ගැටලු රාශියක් ඇති වුණා. රයිෆල් එකේ බැලන්ස් එක තියාගන්නේ ඉණ වටේ ඇති බඳ පටිය නිසයි. එක පාරටම ඒක කපලා දාන්න කීවාම හිතා ගන්න බැරි වුනා” සමරකෝන් පැවැසීය.මේ ඇඳුම ඇදගෙන ඉන්දියාවේ තරගාවලි දෙකකට සහභාගී වුවද ගැටලුවක් ඇති නොවූ බවත් මංගල පවසනවා.

“ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අලුත් ඇඳුමකට සල්ලි වෙන් කරලා තිබුණේ. අපේ සම්මේලනය මගේ මෙෂිමන්ට් එකත් ගත්තා. දෙපරක්ම මෙසිමන්ට් ගත්තත් කෙරුණේ නෑ. ඔලිම්පික් එන්න කලින් ජර්මනියට යවලා සියල්ල නිවැරදිව කරන්න, පුහුණු වෙන්න අවස්ථාවක් දෙනවා කියලත් කිව්වා. ඒකත් කෙරුණේ නෑ. මා කාටවත් දොස් කියන්නේ නෑ. මම තරගයට පෙර ඇඳුම අඳිනකොට වෙන රටවල අය හිනා වෙනවා දැක්කා. මේ වගේ දුෂ්කරතා මැද වෙඩි තියනවා නොවෙයි. ක්‍රීඩාවත් එපා වෙනවා” මංගල සමරකෝන් පැවැසීය.

Comments

comments

SHARE