ශ්‍රි ලංකාවට ජත්‍යන්තර තහනමක් පනවන්නට ඉඩ දෙන්නේ නැහැ – ක්‍රීඩා ඇමති රියෝ නුවරදී කියයි..

1454
0

ක්‍රීඩා පනත හා රෙගුලාසි ඉතා ඉක්මණින් සංශෝධනය කොට ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව ජාත්‍යන්තර තරග තහනමකට ලක්වීමට නොදී බේරා ගන්නා බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසනවා. පසුගිය කාලයේ සිදුවූ වැරදි නිවැරදි කරමින් අවශ්‍ය සංශෝධන කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශයට හැකියාව ඇතැයි ඔහු පැවසුවේ රියෝ හී සිට යලි ශ්‍රී ලංකාවට පැමිණීමට පෙරයි. ඒම භාරදූර වගකීමට ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා ඇතුළු සියලු දෙනාගේ සහයෝගය ලැබෙන බවට තමන් විශ්වාස කරන බවයි දයාසිරි ජයසේකර මහතා පවසන්නේ.

“ක්‍රීඩා පනත හා ක්‍රීඩා රෙගුලාසි සංශෝධනය කළ යුතු බව මා පිළිගන්නවා. හැබැයි එය අපේ රටට ගැලපෙන ආකාරයට විය යුතුයි. ඇතැම් සංගම් හිතුමතේට වැඩ කරනවා. දැල් පන්දු සම්මේලනය 2011 සිට තවමත් ගිණුම් වාර්තා දී නෑ. ඒ එක සම්මේලනයක් විතරයි. මෙලෙස විය නොහැකි බව ජගත් ඔලිම්පික් කමිටු නියෝජිතයන් අප සමග පැවැසුවා. ඒ සංගම්වලට දඬුවම් දෙන ක්‍රමයක් වහාම සකසන බව මා ජගත් ඔලිම්පික් කමිටු නියෝජිතයන්ට පොරොන්දු වුණා”  ඉදිරි මාස දෙකේදී මේ සම්බන්ධව තීන්දු තීරණ රැසක් ගැනීමට තමන් සූදානම් බවද ක්‍රීඩා ඇමැතිවරයා අවධාරණය කලා. වසර 2009 සිට ක්‍රීඩා පනත හා ක්‍රීඩා රෙගුලාසි පිළිබඳ ප්‍රශ්නයට ශ්‍රී ලංකාවෙන් විවිධ පොරොන්දු දී ඇතැත් ඒවා යථාර්තයක් නොවී ඇති හෙයින් ජාත්‍යන්තරය අප පිළි නොගන්නා තත්ත්වයකට පත්වීම සත්‍යයක් බවයි ක්‍රීඩා අමාත්‍යවරයා පවසන්නේ.

“මට දැන් පරණ පව්වලට කර ගහන්න වෙලා. මේ හැම අභියෝගයක්ම රජයක් විදිහට භාර ගෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අනාගතය සුරක්ෂිත කළ යුතුයි” ක්‍රිඩා ඇමැතිවරයා වැඩි දුරටත් පැවසුව.

ප්‍රසන්න අදිකාරී
රියෝ ද ජැනැයිරෝ නුවර සිට

Comments

comments

SHARE