කැන්ගරුවන්ගේ අභිමානය රැකගැනීමේ සටන හෙට

164
0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර තරග 3කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය හෙට කොළඹ එස්.එස්.සි.ක්‍රීඩාංගනයේදී ආරම්භ වනවා.

මේ වනවිට තරගාවලිය තරග 2-0ක් ලෙස ජයගෙන තිබෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

යම් හෙයකින් අවසන් ටෙස්ට් තරගයත් ඔස්ට්‍රේලියාව පරාජය වුවහොත් ඔවුන්ට මේ වනවිට ජගත් වර්ගීකරණයේ හිමිව ඇති අංක එකේ ස්ථානයත් අහිමිව යනවා.

ඔවුන් සිය ටෙස්ට් තරග ඉතිහාසයේ මෙතෙක් තරගාවලි 177කට සහභාගිවී තිබෙනවා.

ඉන් ඔස්ට්‍රේලියාව පුර්ණ තරගාවලි පරාජයන්ට මුහුණදී ඇත්තේ අවස්ථා 4කදී පමණයි.

කෙස් නමුත් අද පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජෙලෝ මැතිව්ස් පැවසුවේ අවසන් තරගයත් ජයගෙන ඔස්ට්‍රේලියාවට එරෙහිව පළමු වරට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් ලබා ගැනීමට තමන් ඇතුළු කණ්ඩායම සිහින දකින බවයි.

අබාධය සුවවීමෙන් පසු සුරංග ලක්මාල් හෙට තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වනු ඇති.

ඒ අනුව විශ්ව ප්‍රනාන්දුට කණ්ඩායමේ සිය ස්ථානය අහිමිව යනවා.

එම වෙනස් කමට අමතරව කණ්ඩායමේ වෙනසක් සිදු නොවන බවයි මැතිව්ස් පවසන්නේ.

කෙසේ වුවත් අවසන් තරගයේදී හෝ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන්ගේ වෙනසක් වන්නේ නැත්දැයි මාධ්‍යවේදීන් ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයාගෙන් විමසා සිටියා.

එවිට ඔහු පැවසුවේ තරගාවලිය ජයගෙන ඇතිනිසා ඔවුන්ට තවත් අවස්තාවක් ලබාදෙන බවයි.

එම අවස්ථාවෙන් ඔවුන් ප්‍රයෝජන ගනු ඇතිබව තමා විශ්වාස කරන බවත් මැතිව්ස් මෙහිදී පැවසුවා.

එස්.එස්.සි. තණ තීරුව පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය වුවත් අවසන් තරග දෙකේදී එය දග පන්දු යවන්නන්ට වාසි සහගත ලෙස හැසිරුණු බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා මෙම මාධ්‍ය හමුවේදී පැවසුවේ.

එමනිසා පළමු දිනයේ සිට තණ තීරුවේ දග කැවීමක් බලාපොරොත්තු වන බවද ඔහු පැවසුවා.

එස්.එස්.සි.ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරග 4ක් පවත්වා තිබෙනවා.

ඉන් තරග 2ක් ජය ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්වූ අතර ඉතිරි තරග දෙක නිමාවුනේ ජයපරාජයෙන් තොරවයි.

Comments

comments

SHARE