ඕස්ට්‍රේලියානු පිතිකරුවෝත් වැඩ පෙන්වති….

179
0

වෝන් – මුරලි කුසලානය සඳහා පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමුවරට පිත්තෙන් ශ්‍රී ලංකාවට අභියෝගයක් එල්ල කරන්නට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද සමත් වුණා.

ඒ තුන්වන සහ අවසන් ටෙස්ට් තරගයේ පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකාව සියල්ලන් දැවී රැස්කළ ලකුණු 355 ට පිළිතුරු ලෙස ශතක සබඳතාවක් ගොඩනගමින්. මේ තරගය පැවැත්වෙන්නේ කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගනයේදී.

අද තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 5 ක් දැවී ලකුණු 214 ක් ලබා සිටියා.
ඊයේ ලකුණු 26 කට කඩුලු 5 ක් දැවී අසරණව සිටි මොහොතක දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා එක්ව ගොඩනැගූ නොබිඳුණු ලකුණු 188 ක සබඳතාවල ලකුණු 211 ක් දක්වා ඉදිරියට ගෙනයන්නට ඔවුන් දෙදෙනා අද සමත් වුණා.

ලකුණු 129 ක් ලබාසිටි ධනංජය ද සිල්වා දැවී ගියේ නේදන් ලයන්ගේ පන්දුවක් හමුවේ. තම ටෙස්ට් තරග දිවියේ 7 වන ශතකය වාර්තා කළ දිනේෂ් චන්දිමාල් හතරේ පහර 13 ක් සහ හයේ පහරක් සමග රැස්කළ ලකුණු සංඛ්‍යාව 132 ක්.

මිචෙල් ස්ටාර්ක් ශ්‍රී ලංකා පළමු ඉනිමේ අවසානය ඉක්මණ් කළේ තම කඩුලු එකතුව 5 ක් දක්වා වර්ධනය කර ගනමින්. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියකදී කඩුලු 5 බැගින් තුන්වරක් දවාගත් පළමු වේගපන්දු යවන්නා ලෙස ඉතිහාස ගතවන්නටද ස්ටාර්ක් සමත් වුණා. මේ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිම සටහන් වුණේ සියල්ලන් දැවී ලකුණු 355 ක් ලෙසින්.ඔස්ට්‍රේලියානු පළමු ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 21 ක් වෙද්දී බිඳවැටුණා.

ධනංජය ද සිල්වා තම පන්දු යැවීමේ හැකියාව ද ප්‍රදර්ශනය කළේ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර්ගේ ඉනිම ලකුණු 11 කට සීමා කරමින්. ඉන් අනතුරුව පිටියේ එක්වූ ස්ටීවන් ස්මිත් සහ ෂෝන් මාෂ් මේ තරගාවලියේ ඔස්ට්‍රේලියාව වෙනුවෙන් වාරතාවූ පළමු ශතක සබඳතාව ගොඩනගන්නට සමත් වුණා.

කෙසේ වෙතත් ස්මිත් සහ මාෂ් දෙදෙනාවම දවා ගැනීමේ අසීරු අවස්ථා 2 ක් කෞෂාල් සිලවා අතින් ගිලිහී ගියා. දිනය අවසන් වන විට ඔස්ට්‍රේලියානු පළමු ඉනිම සටහන් වුණේ එක් කඩුල්ලකට ලකුණු 141 ක් ලෙසින්. ස්මිත් ලකුණු 61 ක් සහ මාෂ් ලකුණු 64 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියා. මේ අනුව, ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 214 ක් පසුපසින් සිටිනවා.

Comments

comments

SHARE