තුන්වන දිනය දෙපිළටම වාසි ගෙන දෙයි…

474
0

අද තුන්වන දිනයට තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි ඕස්ට්‍රේලියානුවන් එක් කඩුල්ලක් ද දැවී ලකුණු 141ක් ලබාසිටියා.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටියේ නායක ස්ටීවන් ස්මිත් සහ ෂෝන් මාෂ්.

ඔවුන් දෙදෙනා අද දිනයේදී ශතක ලබා ගනිමින් ඔස්ට්‍රේලියා පළමු ඉනිම ප්‍රබල ස්ථානයකට රැගෙන එන්නට කටයුතු කළා.

පළමුව සිය ශතකය කරා ගිය ෂෝන් මාෂ් එය හතරේ පහර 19 කින් වර්ණවත් කළා.

ඔහු අද වාර්තා කළේ සිය සිව්වන ටෙස්ට් ශතකයයි.

මෙවර තරගාවලියේදී ඔස්ට්‍රේලියානු පිතිකරුවෙකු ලබාගත් පළමු ශතකය ද මෙය වනවා.

අනතුරුව ස්මිත් සිය ශතකය වාර්තා කළා.

ස්මිත් අද දිනයේ සිය 15 වන ටෙස්ට් ශතකය නම ඉදිරියේ ලියා ගත්තා.

එය හතරේ පහර 10 කින් සහ හයේ පහරකින් වර්ණවත් වුණා.

මාෂ් සහ ස්මිත් ගොඩනැගූ ලකුණු 246 ක සබඳතාව බිඳ වැටුණේ මිචෙල් මාෂ් ලකුණු 130 කට දැවී යාමත් සමගයි.

අනතුරුව මුළු ලකුණු සංඛ්‍යාව 275 කදී ස්මිත් දැවී ගියා.

ඒ වනවිට ඔහු ලකුණු 119 ක් ලබාගෙන සිටියා.

වරෙක ඔස්ට්‍රේලියානු පළමු ඉනිම දැක්වුණේ කඩුලු 5 කට ලකුණු 353 ක් ලෙසින්.

නමුත්, අනතුරුව තරගයට අවතීර්ණ වුණ රංගන හේරත් ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඔස්ට්‍රේලියා පසුපෙළ සුණු විසුණු කර දැමුවා.

ඔවුන්ගේ අවසන් කඩුලු 5 ලකුණු 26 ක් තුළ දවාගත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඔස්ට්‍රේලියා පළමු ඉනිම ලකුණු 379 කට සීමා කළා.

කැන්ගරුවන්ගේ මැද පෙළ සාර්ථක වූ එකම පිතිකරුවා වුණේ මිචෙල් මාෂ් පමණයි.

ඔහු හතරේ පහර 9 ක් සමගින් සිය දෙවන ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළා.

සුපිරි පන්දු යැවීමක නිරත වුණු රංගන හේරත් ලකුණු 81 කට කඩුලු 6 ක් බිද හෙලුවේ 25 වන අවස්ථාවටත් ටෙස්ට් ඉනිමකදී කඩුලු 5 සීමාව පසුකර යමින්.

දිල්රුවන් පෙරේරා කඩුලු 2 ක් දවා ගත්තා.

ඊට අමතරව චතුරංග ද සිල්වා සහ සුරංග ලක්මාල් එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

ඔස්ට්‍රේලියාව සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 379 ක්.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම ආරම්භ කළේ කැන්ගරුවන්ට වඩා ලකුණු 26 ක් පසුපසින් සිටිමින්.

සුපුරුදු ආරම්භය වෙනුවට අද දිමුත් සමගින් දිල්රුවන් පෙරේරා පිටියට පිවිසියා.

නමුත්, සැදෑ ආරක්ෂක පිතිකරු ලෙස පිටියට පිවිසි දිල්රුවන් ලකුණු 8 කට පිටියෙන් ඉවත් කරන්නට මිචෙල් ස්ටාක් සමත් වුණා.

දිනය නිමා වනවිට ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 22 ක් ලබා සිටියා.

ඒ අනුව ඔවුන් ඔස්ට්‍රේලියා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 2 ක් පසුපසින් සිටිනවා.

Comments

comments

SHARE