කෞෂාල් ශ්‍රී ලංකාව ගොඩ දමයි

2062
0

මේ තරගාවලියේ ඉනිම 5 කදී අසාර්ථක වුවත් කණ්ඩායමට අවශ්‍ය මොහොතේ ලකුණු අතරට පිවිසි කෞෂාල් සිල්වා ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ වාසිය ශ්‍රී ලංකාවට ලබාදෙන්නට සමත් වුණා. තරගය පැවැත්වෙන්නේ කොළඹ එස්.එස්.සී. ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී

අද සිව්වන දිනයට තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 22 ක් ලබා සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වාසිය ලකුණු 74 ක් වනවිට ඔවුන්ගේ කඩුලු 4 ක් දවා ගන්නට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණා.

දෙවන ඉනිම කඩා වැටෙන ලකුණු පෙන්නුම් කරද්දී නායක ඇන්ජලෝ මැතිව්ස් සහ කෞෂාල් සිල්වා 5 වන කඩුල්ලට අර්ධ ශතක සබඳතාවක් ගොඩනැගුවේ ලකුණු පුවරුවට ස්ථාවරත්වයක් ගෙන එමින්.

මැතිව්ස් ලකුණු 26  කට දැවී ගියා.

අනතුරුව කෞෂාල් සමගින් එක් වූ දිනේෂ් චන්දිමාල් අගනා ලකුණු 90 ක සබදතාවක් ගොඩනගන්නට සමත් වුණා.

චන්දිමාල් ලකුණු 43 ක් ලබා ගත්තේ හතරේ පහර 4 ක් සමගින්.

මේ අතර, කෞෂාල් සිල්වා අද තම තුන්වන ටෙස්ට් ශතකය වාර්තා කළා.

මෙම තරගාවලියේ පළමු ඉනිම 5 තුලදී ලකුණු 18 ක් පමණක් රැස් කළ ඔහු පෙරදින පන්දු රැකීමේදී ඇගිල්ලක ඇති වූ ආබාධයකින් ද පීඩා විඳිමින් මෙම පිතිහරඹයේ යෙදීම විශේෂත්වයක්.

කෞෂාල් දැවී ගියේ ලකුණු 115 කටයි.

අනතුරුව ධනංජය ද  සිල්වා වේගවත් පිති හරඹයක නිරත වෙමින් නොදැවී ලකුණු 44 ක් රැස් කළා.

අද දිනය අවසන් වනවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුණේ කඩුලු 8 කට ලකුණු 312 ක් ලෙසින්.

මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තවත් කඩුලු 2 ක් අතැතිව ඔස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා  ලකුණු 288 ක් ඉදිරියෙන් සිටිනවා.

ලකුණු තත්වය

ශ්‍රී ලංකා පළමු ඉනිම – (සියල්ලන් දැවී) – 355 – දිනේෂ් චන්දිමාල් – 132, ධනංජය ද සිල්වා – 129, මිචෙල් ස්ටාක් – 5/63

ඕස්ට්‍රේලියා පළමු ඉනිම – (සියල්ලන් දැවී) -379  – ෂෝන් මාෂ් – 130, ස්ටීවන් ස්මිත් -119, රංගන හේරත් – 6/81

ශ්‍රී ලංකා දෙවන ඉනිම – 312/8- කෞෂාල් සිල්වා – 115, ධනංජය ද සිල්වා – 44*, නේතන් ලයන් – 4/123

Comments

comments

SHARE