ජීවත් වෙන්න මිනී වලවල් හාරන හිටපු පාපන්දු නායකයා

1163
0

පාපන්දු ක්‍රීඩාව ගැන දන්න පාපන්දු ක්‍රීඩාවට ප්‍රිය කරන ඕනෑම කෙනෙක් ඊ.බී.චන්න ගැන දන්නවා. වසර 16ක් තිස්සේ පාපන්දු පිටියේ කරනම් ගහපු ඒ හුරුබුහුටි ක්‍රීඩකයාගේ දක්ෂතා ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. හැබැයි අපි  දැන් මේ කියන්න යන්නේ අද වෙනකොට චන්න ගැන ඔබ නොදන්නා කතාවක්.

ජීවත් වෙන්න හරිහමන් ක්‍රමයක් නැති නිසා මේ වෙනකොට මේ සුපිරි පාපන්දු ක්‍රීඩකයා මිනී කනත්තක තණ කොළ කපමින් මිනී වලවල්  හාරමින් සිය දරු පවුල නඩත්තු කරනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද ?

මේ ජාතික පාපන්දු ක්‍රීඩකයා තණකොළ කපමින් මිනීවළවල් හාරමින් රැකියාව කරන්නේ ගාල්ල දඩල්ල සුසාන භූමියේ.

02ඔහු ගාල්ල මහ නගර සභාවේ අනියම් කම්කරුවෙක් විදියටයි මේ වෙනකොට වැඩ කරන්නේ. චන්නගේ දිනක වැටුප රුපියල් 1000ක් තරම් වූ සොච්චම් මුදලක්.

පාසල් යන දියණියන් දෙදෙනකු ඇතුළු දරුවන් තිදෙනකුගේ පියකු වන, ඉන්න හිටින්න නිවෙසක්වත් නැති ඊ.බී. චන්න ඔහුගේ දුක්බර කතාව අපිට කිව්වේ මෙලෙසින්

“මම මුලින්ම පාසල් ගියේ ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයට. පාපන්දු ක්‍රීඩාව සදහා මගේ තිබූනු  ආශාව  නිසාම  ගාල්ල ඕල්සන්ස් විද්‍යාලයට ගියා. ඒ අතරතුර මට හකීම් සර් හමුවුණා. ඔහු මට අවස්ථාවක් ලබාදුන්නා ශ්‍රී ලංකා පාසල් පාපන්දු තරගාවලියට සහභාගි වෙන්න. 97 වසරේදි 19න් පහළ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ක්‍රීඩාකරන්න අවස්ථාව ලැබුණා. ඒ තරගයේදි මම ගෝල් දෙකක් ගැහුවා. සිරිසේන මාස්ටර් මට අවස්ථාව ලබා දුන්නා 98 වර්ෂයේදි ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම නියෝජනය කරන්න. චතුර මදුරංග, කසුන් ජයසූරිය, රාම් මොහිදීන්, මොහොමඩ් ජුවාඩ්, සුගත් තිලකරත්න එදා මාත් එක්ක ක්‍රීඩා කළා.

ජාතික මහා ක්‍රීඩා උළෙලේදී මා පාපන්දු ක්‍රීඩාවෙන් දකුණු පළාතට රන් පදක්කම් තුනක් අරන් දීලා තියෙනවා. 2015දී හොදම ක්‍රීඩකයා වුණා. 2009 සාෆ් තරගාවලියේදි හොදම ක්‍රීඩකයා වුණා. 2005 ලාහෝර්වලදි තිබූ ඒ.ඒ.එස්.පී. ප්‍රසිඩන්ට් කප් තරගාවලියේදි මම ගෝල් අටක් ගහලා හොදම ක්‍රීඩකයා වුණා.

98 වර්ෂයේ බ්‍රිස්ටල් ෆ්‍රීඩම් කප් තරගාවලියට ක්‍රීඩා කළා. 2014 වෙනකම් වසර 16ක් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම නියෝජනය කළා. සාෆ් ක්‍රීඩා තරග හතරක් ක්‍රීඩා කළා. ලෝක කුසලානය සදහා මූලික සුදුසුකම් ලැබීමේ තරගාවලි 01තුනක් ක්‍රීඩා කළා. ආසියා පාපන්දු ශූරතාව සදහා සුදුසුකම් ලැබීමේ තරග හයක් ක්‍රීඩා කළා. පාපන්දු තරග සදහා විදේශී්‍ය රටවල් 25කට විතර ගිහින් තියෙනවා. 2012 වර්ෂයේදි ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ නායකත්වය දැරුවා. මගේ නායකත්වය යටතේ පලස්තීනයට ගිහින් තරග තුනක් ක්‍රීඩා කළා. මැලේසියාවට ගියා. මම 2014 වර්ෂයේදි ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමෙන් විශ්‍රාම ගියා. ඒ ක්‍රීඩා කරන්න බැරිකම නිසා නෙවෙයි පරිපාලනය ගැන මට තිබුන කලකිරීම හින්දා.

අවුරුදු 16ක් කියන්නේ ලේසි පහසු නැහැ.මගේ ජිවිත කළෙම මන් කැපකලේ පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන්.

එත් අද වෙනකන් ශ්‍රී ලංකා පාපන්දු බලදාරින් මං ගැන ඇහැක් ඇරලා බලල නැහැ.ක්‍රීඩාවෙන් සමුගන්නකොට මං පාපන්දු බලදාරින්ගෙන් ඉල්ලුව ලියුමක් ලියල දෙනවනම් දැන් මට මොනවා හරි දෙන්න කියලා.

එත් අදවෙනකන් කිසිම උත්තරයක් නැහැ.

මට දියණියන් තිදෙනෙක් ඉන්නවා. දෙදෙනෙක් පාසල් යනවා. ඉන්න නිවෙසක් නැහැ. කුලී ගෙයක තමයි ඉන්නේ.ජීවත් වෙන්න වෙන ක්‍රමයක් නැති නිසයි මම මේ වගේ රස්සාවක් කරන්නේ.දඩල්ල කනත්තේ තණකොළ කපන්න හා මිනීවළවල් හාරන්න තමයි මට තියෙන්නේ. මේක ස්ථීර රැකියාවක් නෙවෙයි. ඕන වෙලාවක අයින් කරන්න පුළුවන්. දෛනික වැටුපක් තමයි ලැඛෙන්නේ. මම බලාපොරොත්තුවෙන්නේ  කාර්යාල සහායක වගේ රැකියාවක්.

ජාතික තලයේ ක්‍රීඩාවෙන් සමුගත්තට මම අදටත් ක්‍රීඩා සමාජ මට්ටමෙන් පාපන්දු ක්‍රීඩා කරනවා.දෙවට ප්ලියින් ඇරෝ, ඕල් ජොසපියන්, ගෝල් යූත් , පැටා යුනයිටඩ්, රත්නම්, සුපර් සන්, බ්ලු ස්ටාර් යන ක්‍රීඩා සංගම්වලට මම ක්‍රීඩා කර තියෙනවා. දැනටත් මම බ්ලු ස්ටාර් ක්‍රීඩා සමාජයේ  සාමාජිකයෙක්.”

වසර 16ක් පුරා ශ්‍රී ලංකා නාමය ජගත් පාපන්දු පිටියේ බබළවන්න කටයුතු කරපු ඊ.බී.චන්න අද වෙනකොට අන්ත අසරණ තත්වයකට වැටිලා.

රටේ අභිමානය වෙනුවෙන් ඔහු තමන්ගේ මුළු ජිවිත කාලයම කැප කළා.

අවසානයේ ඔහුට තමන්ගේ ජිවිත ගැට ගහ ගන්න තරම් රස්සාවක්වත් නැතිවුනා.

ක්‍රීඩාව නගාසිටුවන්න , ක්‍රීඩකයින්ගේ සුබසාදනය වෙනුවෙන් සැලසුම් සකස් කරන පිබුරුපත් අදින නිලදාරීන් අපි ඕනෑ තරම් දැකල තියෙනවා.හැබැයි අන්තිමේදී ඔවුන් කරලා තියෙන්නේ කටින් බතල සිටුවන එක පමණයි.අවම වශයෙන් ඉන් එකක් දෙකක් වත් ක්‍රියාත්මක කලානම් ඊ.බී.චන්න වගේ සුපිරි ක්‍රීඩකයින්ට අද වෙනකොට මේ වගේ සෝචනීය ඉරණමක් අත් නොවී තියෙන්නට තිබුනා.

04

05

Comments

comments

SHARE