ශ්‍රී ලංකාව කැන්ගරුවන් හඩවයි

2346
0

වසර 140ක ටෙස්ට් තරග වංශ කතාවකට හිමිකම් කියන ඔස්ට්‍රේලියාව අද දරුණු තරගාවලි පරාජයකට මුහුණ දුන්නා. ඒ ශ්‍රී ලංකාව හමුවේ.

දෙරට අතර අවසන් ටෙස්ට් තරගය ලකුණු 163කින් ජයගත් ශ්‍රී ලංකාව පළමු වරට ඔස්ට්‍ර්ලියාවට එරෙහිව පුර්ණ ටෙස්ට් තරගාවලි ජයක් ලැබුවා.

කොළඹ එස්.එස්.සි.පිටියේ පැවති මෙම තරගයේ අවසන් දිනයට අද තරගය ආරම්භ කරනවිට සිය දෙවන ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 8ක් දැවී ලකුණු 312ක් ලබාගෙන සිටියා.

ඊයේ දිනයේ නොදැවී පන්දුවට පහර දෙමින් සිටි චතුරංග ද සිල්වා අද සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය වාර්තාකලා.

ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 8කට ලකුණු 347ක් ලෙස සටහන්ව තිබු විටෙක නායක ඇන්ජෙලෝ මැතිව්ස් ක්‍රීඩා පිටියට දැනුම් දුන්නේ ඉනිම අත්හිටුවන ලෙසයි.

ඒ වනවිට චතුරංග ද සිල්වා නොදැවී ලකුණු 65ක් රැස් කළා.

දිනේෂ් චන්දිමාල් ලකුණු 45යි.

තරගාවලිය පුරා පිතිකරුවෙකු ලෙස අසාර්ථක වුනු කෞෂාල් සිල්වා මෙම ඉනිමේදී සිය තුන්වන ටෙස්ට් ශතකය වාර්තා කලේ ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍යව තිබු මොහොතකදී.

මෙම තරගයෙන් ජයග්‍රහණය සදහා ඕස්ට්‍රේලියානුවන්ට ලකුණු 324ක ඉලක්කයක් හිමිවුණා.

එම ඉලක්කය සදහා හොඳ අඩිතාලමක් දැමු ඩේවිඩ් වෝනර් සහ ෂෝන් මාර්ෂ් පළමු කඩුල්ල සදහා ලකුණු 77ක් ලබාගෙන සිටියදී තරගය දිවා අහාරය සදහා නතර කළා.

කෙසේ නමුත් තරගයේ තීරණය උඩු යටිකුරු වුනේ දිවා ආහාරයෙන් පසුවයි.

ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුවට තවත් ලකුණු 83ක් එක් වෙද්දී ඔවුන්ගේ සියලු පිතිකරුවන් ක්‍රීඩාගාරයේ නරබන්නන් බවට පත්ව සිටියා.

අවසන් කඩුල්ල ලෙස රංගනගේ පන්දුවක් හමුවේ නේදන් ලයන් දැවී ගියේ ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ට ටෙස්ට් තරගාවලි ජයක් හිමිකර දෙමින්.

ඕස්ට්‍රේලියා දෙවන ඉනිම ලකුණු 160කට සිමා කරන්නට රංගන ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුනා.

රංගන ලකුණු 64කට කඩුලු 7ක් දවා ගත්තා.

ඔහු මෙම තරගයේදී කඩුලු දහයේ සීමාව ඉක්මවා ගියේ 6වන වතාවටත් ටෙස්ට් තරගයකදී එවන් දස්කමක් සිදු කරමින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සදහා සියල්ලන් දැවී ලකුණු 355ක් රස කළා.

ඊට පිළිතුරු ලෙස කැන්ගරුවන් සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 379ක්.

තරගය පුරාවට කඩුලු 28ක් දවාගත් රංගන හේරත් අවසන් තරගයේ මෙන්ම තරගාවලියේ වීරයා ලෙසින්ද සම්මාන ලැබුවා.

මෙම තරග පරාජයත් සමග ජගත් වර්ගීකරණයේ පෙරමුණේ පසුවුණු ඔස්ට්‍රේලියා කණ්ඩායමට එම අහිමානය ගිලිහි යනවා.

Comments

comments

SHARE