සිංහ – කැන්ගරු එක්දින සටන අදින් ඇරඹෙයි

164
0

ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භවනවා.

මෙම තරගය පැවැත්වෙන්නේ දිවා රාත්‍රී තරගයක් ලෙසයි.

දෙරට අතර ටෙස්ට් තරගාවලිය තරග 3 – 0ක් ලෙස ජයගෙන ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලියට එක්වන්නේ යහපත් මානසිකත්වයකින් යුක්තවයි.

ටෙස්ට් තරගාවලියේදී සේදී ගිය අභිමානය කෙසේ හෝ රැක ගැනීමට ඔස්ට්‍රේලියාව එක්දින තරගාවලියේදී කටයුතු කරනු නොඅනුමානයි.

එක්දින ලෝක ශුරයින් ලෙස එම අභිමානය රැක ගැනීමේ අමතර වගකීමත් ඔවුන් පිට පැටවී තිබීම ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් අමතර වාසියක් ගෙනදෙනු ඇති.

කැන්ගරුවන් මේ වසරේදී ඉන්දියාව , නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් සමගින් එක්දින තරගාවලි වලට සහභාගී වුනා.

එහිදී ඔවුන් පරාජය වුනේ නවසීලන්තය හමුවේ පමණයි.

ශ්‍රී ලංකාවද මේ වසරේ එක්දින තරගාවලි 3කට සහභාගී වූ අතර ඔවුන් ජය ගත්තේ අයර්ලන්තය සමග පැවති එක්දින තරගාවලිය පමණයි.

නවසීලන්තය සහ එංගලන්තය සමග පැවති එක්දින තරගාවලි ඔවුන් පරාජය වුනා.

කෙසේ වුවත් නවක ක්‍රීඩකයින් කිහිපදෙනෙකු සමගින් ශ්‍රී ලංකාව එක්දින තරගාවලියට අවතීර්ණ වනවා.

යොවුන් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු පිතිකරුවෙකු ලෙස කණ්ඩායමට කැදවා ඇත්තේ ඔහු පසුගිය එංගලන්ත තරග සංචාරයේදී දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගෙනයි.

කෙසේ වුවත් ඊයේ පවතී මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජෙලෝ මැතිව්ස් පැවසුවේ ජාතික කණ්ඩායමේ අත්දැකීම් ලබාදීමේ අරමුණ ඇතිව අවිශ්කව මෙම සංචිතයට කදවු බවයි.

අවශ්‍ය වුවහොත් ඔහුට තරගයක් ලබා දෙන බවද මැතිව්ස් පැවසුවා. එමෙන්ම දගපන්දු යවන ක්‍රීඩක අමිල අපොන්සුද කණ්ඩායමට කැදවා තිබෙනවා.

කලකට පසු තිසර පෙරේරාට කණ්ඩායමේ ස්ථානයක් හිමිව ඇති අතර එම නිසා අහිමිව යන්නේ දසුන් ශානකට කණ්ඩායමේ තිබු ස්ථානයයි.

චයිනමන් පන්දු යවන ලක්ෂාන් සඳකැන් ටෙස්ට් තරගාවලියෙන් පසු එක්දින තරගාවලියටද කැදවා තිබීම සාධනීය ලකුණක්.

ඔහුව ටෙස්ට් පන්දු යවන්නෙක් ලෙස හංවඩු නොගසාසිටින්නට වත්මන් තේරීම් කමිටුව කටයුතු කිරීම පැසසිය යුතුයි.

ටී.එම්.ඩිල්ෂාන්ට මෙම එක්දින තරගාවලිය බොහෝ සෙයින් වැදගත් වනවා. ඒ මේ වනවිට 40වන විය අභියස පසුවන ඔහුගේ ස්ථානයට ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම කුරුමානම් අල්ලමින් සිටින නිසයි.

යම් හෙයකින් දිල්ශාන් මෙම එක්දින තරගාවලියේදී අසාර්ථක වුවහොත් එය ඩිල්ශාන්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට නැවතීමේ ලකුණක් වනු ඇති.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර මේවනවිට එක්දින තරග 91ක් පවත්වා තිබෙනවා. ඉන් තරග 56ක් ජයගෙන ඇත්තේ ඔස්ට්‍රේලියාවයි. තරග 31ක් ශ්‍රී ලංකාව ජයගෙන තිබෙනවා. තරග 4ක් අවසන් වී ඇත්තේ තීරණයක් නොමැතිවයි.

අවසන් වරට එක්දින තරගයකදී ඔවුන් 2015 වසරේදී එකිනෙකා මුණගැසුණු අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරගයක් වූ එම තරගය ලකුණු 64කින් ජය ගන්නට ඕස්ට්‍රේලියානුවන් සමත් වුනා.

Comments

comments

SHARE