ක්‍රීඩා ඇමතිට ලියා දන්වන වග නම්

1542
0

පසුගිය දින කිහිපයේම  මුළු ලෝක ප්‍රජාවගේම අවධානය යොමු වෙලා තිබුනෙ රියෝ ඔලිම්පික් ගැනයි. ඒ කියන්නේ රටවල් 203ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පෙන්වන දස්කම් ගැන ඒ ඒ රටවල උදවිය කතා වුනා වගේම අපේ රටේත් බොහෝ දෙනෙක් පිටරටවල අයගේ දස්කම් ගැන කතා වුනා..හේතුව අපේ රටෙන් ගිය අයගේ දක්ෂතා ගැන කතා කරන්න දෙයක් නොතිබුණු නිසයි.

ඒ ගැන කිව්වොත් ඉතිං 9 දෙනෙක් ගියා. ඒ 9 දෙනා ගත්තාම ඒ කට්ටිය තරග කරපු ඉසව්වලින් අන්තිම හරියේ ස්ථාන තමයි ගත්තේ. බැඩ්මින්ටන්වලටයි, ජූඩෝවලටයි ගිය ක්‍රීඩකයෝ තරගයක් දිනලා පෙන්නුවා හැර අනෙක් අය ගැන කතා කරන්න දෙයක් ඉතිරි වුණේ නැහැ.

හැබැයි ඉතිං අපෙන් ඔලිම්පික් ගිය ක්‍රීඩකයෝ එයාලා ගැන කතා කරන්න දෙයක් ඉතිරි නොකළාට ඒ ගොල්ලන් එක්ක ගිය ඇමැතිවරු, සභාපතිවරු, ලේකම්වරු, පුහුණුකරුවෝ වගේම නිලධාරීන් ගැනත් කතා කරන්න බොහෝ දේ තවත් තියෙනවා. ඒ අය ගැන කතා කරන්න ඉස්සර වෙලා අපේ ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහත්මයා රියෝ ගිහිල්ලා ආවාට පස්සේ කරපු ප්‍රකාශයක් අහල පුදුම හිතුණා. ඒ කියන්නේ එතුමා “මම පැරාලිම්පික් සංගමයේ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය ගැන දැඩි තීන්දුවක් ගන්නවා” යනුවෙන් මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කළා.

ඇත්ත. එළැඹෙන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලට බ්‍රසීලයේ රියෝ නුවරටම යවන ශ්‍රී ලංකා කණ්ඩායම තේරීම පිළිබඳ ප්‍රශ්නයක් මතුවී තිබුනා. ඒ ප්‍රශ්නයට ක්‍රීඩා ඇමැති පහුවෙලා හරි මැදිහත් වුණ එක හොඳයි. ඒත් ඉතිං අපිට එහෙන් මෙහෙන් හිනාවක් ගියේ ජාතික ඔලිම්පික් කමිටුවේ නිලධාරීන්ගේ වැඩකෑල්ල දිහා බලාගෙන මුනිවත රකින දයාසිරි ඇමැතිතුමාට මේ තරම් උත්තේජනයක් ආවේ රියෝ ගිහිල්ලා තහනම් උත්තේජකයක්වත් පාවිච්චි කරලා ඇවිල්ලාද? කියලා ප්‍රශ්නයක් මතු වුනු හින්දා.

හොඳයි ඇමැතිතුමා ඔය සද්දෙ කාටත් එක වගේ දාන්න පුළුවන් නම් තමයි ක්‍රීඩා ඇමැතිකමේ නියම මහිමය රටට පෙන්වන්න පුළුවන් වෙන්නේ. මතකද දන්නේ නැහැ ඇමැතිකම භාරගත්ත වෙලාවේ කිව්වේ මම වැඩ කරන්නේ හැඩ බලල නෙවෙයි වැඩ බලලයි කියලා. ඒ කියන්නේ කාගෙවත් මුහුණ බලල තීරණ ගන්නේ නැහැ කියලානේ දයාසිරි ඇමැතිවරයා එදා කිව්වේ. ඒත් පසුගිය ගෙවුණු අවුරුද්දකට ආසන්න කාලයක් වැඩ කළේ තීරණ ගත්තෙ මුහුණ බලලා තමයි. අපි එහෙම කියන්නේ සාක්ෂි ඇතුවයි. ආසන්නම කතාන්දර දෙක තුන ගත්තොත් පසුගිය දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට  ජාතික ඔලිම්පික් කමිටුව විසින් ඉන්දියාවට රැගෙන ගිය නඩය ඔබ තුමාට මතකද?

සාග් ක්‍රීඩා උළෙලට යායුතුව සිටි පුහුණුකරුවන්, උපදේශකයන් හා මාධ්‍යවේදීන් සිටියදී පියන්ලා, ඩ්‍රයිවර්ලා හා වෙනත් මිතුරන් වැනි එන්.ඕ.සී. බලධාරීන්ට අවශ්‍ය පුද්ගලයන් සාග් ගෙන යද්දී ඒ ගැන දයාසිරි ක්‍රීඩා ඇමැතිවරයා නිහඬව සිටියා හැර ඊට එරෙහිව ගත් පියවර කුමක්ද? ඒවා දිගින් දිගටම පෙන්වා දෙද්දී මාධ්‍ය සන්දර්ශන පෙන්වමින් ප්‍රකාශ නිකුත් කළා හැර දයාසිරි කළ දෙයක් නැත. මෙවර රියෝ ඔලිම්පික් ගමනත් එසේමය.

එන්.ඕ.සී. යෙන් එන ලියුම්වලට අනුමැතිය දුන්නා හැර වෙන යමක් සොයා බැලූ බවක් දැනගන්නට නැත. අඩුම වශයෙන් තමාගේ අමාත්‍යාංශය යටතේ තිබෙන ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ වෛද්‍යවරයකුටවත් ඔලිම්පික් යන්නට එන්.ඕ.සී. ලොක්කන් ඉඩ දුන්නේ නැත. ඒ ගැනද ඇමැති අත පිසදා ගත්තේ දැන් ඒ ගැන තීරණ ගන්නට කාලයක් නැහැ කියාය.

තාත්තලා-පුතාලා, තාත්තලා-දූලා, පවුල් පිටින් ඔලිම්පික් යන්නේ ඔවුන්ට තිබෙන තානාන්තරවල බලයද උපයෝගී කරගෙනය. ඒවාට ආවඩා ආයුබෝ වේවා කියමින් තවත් පිරිස් ආවඩමින් පස්සෙන් යනවා හැර ඔවුන්ටද රටේ ක්‍රීඩාව ගැන කැක්කුමක් නැත. එසේ එහෙයි සර් කියන ගොඩට වත්මන් ක්‍රීඩා ඇමැතිද වැටී ඇත.

ඒ බව සනාථ වන්නේ ඇහෙන කතාවලින් පමණක් නොව කරන ක්‍රියාවෙනි. පසුගිය සාග් උළෙලේදී දයාසිරි ඇමැතිවරයා පෙන්වූ මෝඩ චූන් වැඩ රියෝ ගොස් සිටි දින කිහිපයේදීද පෙන්වු හැටි ඡායාරූප සහිතව වාර්තා විය. පුහුණුකරුවන් ලෙස වෙස්වළා ගත් හොරුන් සමඟ ක්‍රීඩා ඇමැති ඡායාරූපවලට පෙනී සිටියේය. එහෙත් එකී පුහුණුකරුවා යැයි කියාගත් පුද්ගලයා රියෝ නුවරට රැගෙන ගිය එන්.ඕ.සී. බලධාරීන්ට අර පැරාලිම්පික් සංගමයේ නිලධාරීන්ට දැමූ පාට් එක දැම්මේ නැත.

ක්‍රීඩකයන් හමුවී දිරිගැන්වීම අගය කළ යුත්තකි. නමුත් ඒවා කළ යුත්තේද රටක ඇමැති තනතුරකට ගැළපෙන ආකාරයෙනි. අනෙක ලංකාවෙන් යන්නට පෙර බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුහුණ දුන් ප්‍රශ්නවලට විසඳුම් දීමට අපොහොසත් වූ දයාසිරි ඇමැතිවරයා රියෝ ගොස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ කරට අත දාගෙන ඡායාරූප ගැනීමෙන් ඔවුන්ගේ මානසික තත්ත්වය ඉහළ යන්නේ නැත. ඒවාට තේරෙන භාෂාවෙන් කියන්නේ ඇන්දවීම හා මෝඩ චූන් කියාය. ශ්‍රී ලංකා කණ්ඩායම ඔලිම්පික් බලා පිටත්වීමට පෙර අවසන් මොහොතේදී ජාතික ඔලිම්පික් නිවහනේදී විශේෂ හමුවක් සංවිධානය කර තිබිණි. එහි අරමුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුව දුක් විමසා ආශීර්වාද කිරීම වුවද ඒ මොහොතේ ජාතික ඔලිම්පික් කමිටු සභාපතිවරයා ශ්‍රී ලංකා නායක ඉන්ද්‍රජිත් කුරේට බැන වැදුණේ කුරේගේ පවුලේ සාමාජිකයන්ද ඉදිරියේය. එම ස්ථානයේ සිටි එන්.ඕ.සී. ලේකම්වරයා හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා බිම බලාගෙන සභාපතිගේ ගෝරනාඩුවට සවන් දී සිටියේය.

එදා ඔලිම්පික් ගිය කණ්ඩායම් නායකයාගේ මනස හැදුවේ එලෙසය. මේ ගැන නොදන්නා ගණනට දයාසිරි ඇමැතිවරයා හැසිරෙයි. එසේ මානසික වශයෙන් තළා පෙළා ඔලිම්පික් ගිය ළමයින්ගේ මානසිකත්වය, ළඟට ගොස් බදාගෙන ඡායාරූප ගත් පමණින් හැදෙන්නේ නැති බව හෝ තේරුම් ගැනීමට නොහැකි වීම ගැන කනගාටුය.

තවත් බොහෝ දේ මෙරට වත්මන් ක්‍රීඩා පරිපාලනය ගැන කීමට ඇතත් අවසන් වශයෙන් තවත් දෙයක් මතක් කළ යුතුය. ගොවියන්ගේ ප්‍රශ්න විසඳන්නට කෘෂිකර්ම ඇමැති කුඹුරට බැස උදැල්ල අතට ගත යුතුම නැත. සෞඛ්‍ය ප්‍රශ්න විසඳන්නට සෞඛ්‍ය ඇමැතිවරයා ලෙඩුන් සමඟ එක ඇඳේ නිදාගත යුතු නැත. අධ්‍යාපනයේ ප්‍රශ්න විසඳන්නට අධ්‍යාපන ඇමැතිවරයා පන්ති කාමරවලට ගොස් වාඩි විය යුතුම නැත. කළ යුත්තේ අදාළ ක්ෂේත්‍රයේ පැවැත්ම හා දියුණුව සඳහා අමාත්‍යවරයා සතු රාජකාරිය ඉටු කිරීමයි. ඒ අනුව බැලූ විට ක්‍රීඩකයන් තුරුලු කර ගැනීම ක්‍රීඩාවේ හා ක්‍රීඩකයන්ගේ ප්‍රශ්නවලට විසඳුමක් නොවේ. ඒවාත් අවශ්‍ය මොහොතක විදහාපෑවාට කම් නැත. ඒ නිසා ක්‍රීඩාවේ නාමයෙන් දැන්වත් කළ යුත්තේ ක්‍රීඩා ඇමැතිකමේ රාජකාරිය භාර ගන්නා විට කියූ දේ ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්වීමය.

Comments

comments

SHARE