ක්‍රිකට් මහ ගෙදර කොමිස් කාක්කෙක්…

466
0

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය තුල සිදුකරනු ලබන ඇතැම් ගනුදෙනු සඳහා වන මිල කතන (Quotation) කැඳවීමේදී මහා පරිමාණයේ කොමිස්‌ මුදල් ලබා ගැනීමට උත්සාහ දරනු ලබන කොමිස්‌ කාක්‌කකු පිළිබඳ වූ තොරතුරු වාර්තා වනවා.

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතන විධායක සභාවේ ප්‍රධානම නිලයක්‌ හොබවන මෙම බලධාරියා අවසන් වතාවට ගාල්ලේ පැවැති ටෙස්‌ට්‌ තරගය අතරතුර පැවැති රාත්‍රි භෝජන සංග්‍රහයට ඉදිරිපත් කරන ලද මිල කතනය පිළිබඳව අවධානය යොමු කිරීමේදී මෙම මහා පරිමාණ  කොමිස්‌ මුදල් ගසා කෑමේ සූදානම පිළිබඳව කරුණු අනාවරණය වී තිබෙනවා.

500 දෙනෙකුට ආරාධනා කෙරුණු මෙම රාත්‍රි භෝජන සංග්‍රහය ගාල්ල ලයිට්‌ හවුස්‌ හෝටලයේදී පැවැති අතර එහිදී මෙම බලධාරියා යොමු කරන ලද මිල කතනයේ (Quotation) එක්‌ අයෙකුට රු. 11,000 ක මුදලක්‌ වෙන්වෙන සේ මිල ගණන් සකසා තිබෙන නමුත් එහිදී කරන ලද සොයා බැලීමකදී එක්‌ අයෙකු වෙනුවෙන් වූ සත්‍ය මුදල රු. 6000 ක්‌ වන බව සොයා ගැනීමට හැකිව තිබෙනවා.

ඒ අනුව වහාම එම මිල කතනය අවලංගු කොට ඇති සෙසු ක්‍රිකට්‌ බලධාරීන් හෝටලයට සෘජුවම කතා කොට රු. 6000 ක මුදලික්‌ සමන්විත වූ මිල ගණන් යටතේ එම රාත්‍රී භෝජන සංග්‍රහය පවත්වා තිබෙන බව සදහන්.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ ඉහලම නිලයේ පසුවන පුද්ගලයාව තමාගේ ග්‍රහණයේ තබා ගැනීම වෙනුවෙන් සෙසු ඕනෑම බලධාරියකු පාවාදීමට කිසි විටෙකත් නොපසුබට වන අයෙකු ලෙසයි මෙම කොමිස්‌ කාක්‌කා ප්‍රසිද්ධියට පත්ව සිටින්න.

මොහුගේ ඇතැම් කටයුතු හරහා විධායක කමිටුවේ ඇතැම් පිරිස්‌ දැඩි කලකිරීමකට පත්ව සිටින අතර එය විධායක කමිටුව දෙදරා යැමට තරම් අවධානම් තත්ත්වයකට පත්ව තිබෙනවා.

කෙසේ වෙතත් මොහුගේ නොමනා ක්‍රියා කලාපය පිළිබඳව ක්‍රිකට්‌ ආයතන ප්‍රධානියාට හැගී යැමත් සමග මොහුට අවවාද කර තිබෙන බවද සදහන්.

ක්‍රිකට්‌ විධායකයට පත්වීමෙන් පසු වැඩිම විදෙස්‌ සංචාර සංඛ්‍යාවකට සහභාගි වී ඇතැයි සඳහන් මෙම නිලධාරියා එහිදී රු. ලක්‌ෂ 50 කට ආසන්න මුදලක්‌ දීමනා වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයෙන් ලබාගෙන තිබෙන බවද ප්‍රසිද්ධ රහසක්‌.

එම සංචාර අතරට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ එංගලන්ත තරග සංචාරයද ඇතුළත් වී තිබෙන අතර එහිදී ඩොලර් 9000 කට ආසන්න මුදලක්‌ දීමනා ලෙස (perdiem) මොහු ලබාගෙන තිබෙනවා. හෝටල් ගාස්‌තු වශයෙන් එම මුදල ලබාදෙනු ලබන නමුත් දින කීපයක්‌ හැරෙන්නට සෙසු සියලුම දිනයන්හිදී මෙම බලධාරියා තම යහලුවන්ගේ නිවෙස්‌වල සිට කා බී සතුටු වී තිබෙන බවද මේ පිළිබඳ තතු දත් උදවිය සඳහන් කර සිටිනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම දුරකතන ජාලයක ඉහල නිලයක කටයුතු කරනු ලබන්නෙකු වුවද තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් ඕනෑම ක්‍රියාවකට පෙළැඹීමට දෙවරක්‌ නොසිතන පුද්ගලයකු ලෙසද මෙම කොමිස්‌ කාක්‌කා ක්‍ෂේත්‍රයේ ප්‍රසිද්ධියට පත්ව සිටිනවා.

මේ වන විට විධායකයේ උසස්‌ නිලයකට පත්ව සිටියද එවකට සිටි ක්‍රිකට්‌ පරිපාලකයින් පසුපස ගොස්‌ අවු. 19 න් පහළ කණ්‌ඩායමේ කලමනාකාර ධුරයක්‌ ලබා ගැනීම මෙයට කදිම උදාහරණයක්‌ බවද මේ පිළිබඳව කරුණු ගෙන හැර පාන පිරිස්‌ පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ සිදුකරන ලද වංචාවන් හේතුවෙන් මෑතකදී සේවයෙන් පහ කරන ලද දූෂිත නිලධාරීන් දෙදෙනා සහ ලේකම්වරිය බේරා ගැනීම සඳහා දැඩි උත්සාහයක නිරත වූයේ යෑයි සඳහන් මෙම “කොමිස්‌ කාක්‌කා” එසේ කිරීමට පෙළැඹී ඇත්තේ එවකට තමන්ට අදාළ කලමනාකාර තනතුර ලබා ගැනීම සඳහා මෙම පිරිස්‌ උදව් උපකාර කළ නිසා යෑයිද තතුදත් උදවිය සඳහන් කර සිටිනවා.

පානදුර ප්‍රදේශයේ වාසය කරන්නකු වන මෙම බලධාරියා වටා ක්‍රිකට්‌ ආයතනය තුළ සිටින සියලුම දූෂිත නිලධාරීන් එක්‌ රොක්‌ වී සිටින අතර මොහුගේ රැකවරණය හරහා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතන භාණ්‌ඩාගාරය හිස්‌ කිරීම මෙම පිරිසගේ ප්‍රධාන අරමුණ බවට පත්ව තිබෙන බවද මේ පිළිබඳ තොරතුරු ලබා දුන් පිරිස්‌ වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Comments

comments

SHARE