කැන්ගරුවන් ප්‍රේමදාස පිටියේදී හඬා වැටෙයි

786
0

නොකඩවා එක්දින තරග 5 ක අමිහිරි පරාජයකට මුහුණ දී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ එක්දින පිටියේදී ජයග්‍රහණයේ සතුට භුක්ති වින්දා.

ඒ, සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය ලකුණු 82කින් ජය ගනිමින්.  ඔවුන් ඊයේ වාර්තා  කළේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමකට එරෙහිව ලබාගත්  දැවැන්තම ජයග්‍රහණයයි..

මේ තරගය පැවැත්වුණේ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ශ්‍රී ලංකාව අද තරගයට එක් වුණේ වෙනස්කම් දෙකක් සමගින්.

ලක්ෂාන් සඳකැන් වෙනුවට සීක්කුගේ ප්‍රසන්නත් මිලින්ද සිරිවර්ධන වෙනුවට ධනුෂ්ක ගුණතිලකත් කණ්ඩායමට කැඳවා තිබුණා.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ ධනුෂ්ක සමගින් ටී.එම්. ඩිල්ෂාන්.

මුළු ලකුණු සංඛ්‍යාව12 ක් වෙද්දී ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ක්‍රීඩාගාරයේ අසුන් ගෙන සිටියා.

එල්ල වූ පීඩනයෙන් යළි ශ්‍රී ලංකා කණ්ඩායම ගොඩ ගත්තේ දිනේෂ් චන්දිමාල් සහ කුසල් මෙන්ඩිස් යුගලයයි.

ඔවුන් දෙදෙනා තුන්වන කඩුල්ලට  අගනා ලකුණු 125 ක සබදතාවක් ගොඩනැගුවා.

මෙන්ඩිස් සිය 5 වන එක්දින අර්ධ ශතකය ලෙසින් ලකුණු 69 ක් රැස් කළේ හතරේ පහර 9 ක් ද සමගින්.

නොකඩවා අර්ධ ශතක 6 ක් ලබාගෙන එවන් දස්කමක් කළ පලමු ශ්‍රී ලාංකික පිතිකරුවා බවට පත් වීමට තිබූ අවස්ථාව චන්දිමාල්ට ගිලිහී ගියේ ලකුණු 2 කින්.

ඇඩම් සම්පාගේ පන්දුවක් හමුවේ චන්දිමාල් දැවී යන විට ලකුණු 48 ක් ලබා සිටියා.

අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 3 ක් ලකුණු 20 ක් තුළ බිද වැටුණා.

ලකුණු 158 කට කඩුලු 5 ක් දැවී තිබූ මොහොතේ පිටියේ එක් වූ නායක ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් ජනිත් ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ලකුණු සංඛ්‍යාවක් වෙත ගෙන යාමේ මෙහෙයුමක නිරත වුණා.

ඔවුන් දෙදෙනා 6 වන කඩුල්ලට ශතක සබඳතාවක් ගොඩනැගුවේ ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට වැරෙන් පහර එල්ල කරමින්.

කුසල් තම 8 වන එක්දින අර්ධ ශතකය ලෙස ලකුණු 54 ක් ලබාගත් අතර, ඊට හතරේ පහර 5 ක් සහ හයේ පහරක් ඇතුළත් කරන්නට ඔහු කටයුතු කළා.

නායක මැතිව්ස් සිය 32 වන අර්ධ ශතකය ලෙසින් ලකුණු 57 ක් රැස් කළේ හතරේ පහරක් සහ හයේ පහර 2 ක් සමගින්.

කෙසේ වෙතත්, අවසන් පන්දුවාර කිහිපය තුළ තම කණ්ඩායමට අස්වැසිල්ලක් ලබාදෙන්නට ජේම්ස් ෆොල්ක්නර් සහ මිචෙල් ස්ටාක් සමත් වුණා.

ෆොල්ක්නර් එක්දින තරගයකදී කඩුලු ත්‍රිත්වයක් ලබාගත් 6 වන ඔස්ට්‍රේලියානු පන්දු යවන්නා බවට පත්වුණේ කුසල් ජනිත් ඇන්ජලෝ මැතිව්ස් සහ තිසර පෙරේරා තමන් යැවූ පන්දු 3 ක් තුළ නැවත ක්‍රීඩාගාරයට හරවා යවමින්.

අවසන් කඩුලු දෙකේ අයිතිය තමන් සතුකරගත් ස්ටාක් නියමිත පන්දුවාර 50 අවසන් වීමට පෙර ශ්‍රී ලංකා ඉනිමට නැවතීමේ තිත තැබීමට සමත් වුණා.

මේ අනුව පන්දුවාර 48 යි පන්දු 5 ක් තුළ ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ල දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 288 ක්.

පන්දු යැවීමේදී ජේම්ස් ෆෝල්ක්නර්, ඇඩම් සම්පා සහ මිචෙල් ස්ටාක් කඩුලු 3 බැගින් දවා ගත්තා.

ලකුණු 289 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසියේ ඩේවිඩ් වෝනර් සමගින් එරන් ෆින්ච්.

මුළු ලකුණු සංඛ්‍යාව 16 ක් වෙද්දී ඔවුන් දෙදෙනා යළි ක්‍රීඩාගාරයට හරවා යවන්නට තිසර පෙරේරා කටයුතු කළා.

ස්ටීවන් ස්මිත් ලකුණු 30 ක් ලබා ගනිමින් පිටියේ ස්ථාවර වන්නට උත්සාහ ගත්තත් ඔහුගේ ඉනිමට නැවතී තිත තැබුවේ අමිල අපෝන්සුයි.

බිද වැටෙමින් තිබුණු ඔස්ට්‍රේලියානු ඉනිමට මුක්කුවක් ගසන්නට මැතිව් වේඩ් සහ ජෝර්ජ් බෙයිලි සමත් වුණා.

ඒ, සිව්වන කඩුල්ලට ලකුණු 61 ක සබදතාවක් ගොඩනගමින්.

යළිත් ක්‍රියාත්මක වූ අමිල අපෝන්සු බෙයිලිව ලකුණු 27 කට පිටියෙන් ඉවත් කරන්නට සමත් වුණ.

ඔස්ට්‍රේලියානු ඉනිමේ 5 වන කඩුල්ල ලෙස මොයිසෙස් හෙන්රික්ස් දැවී ගියේ සීක්කුගේ ප්‍රසන්න යැවූ පන්දුවක් හමුවේයි.

අනතුරුව වේඩ් සමගින් එක් වූ ට්‍රැවිස් හෙඩ් 6 වන කඩුල්ලට ලකුණු 64 ක සබඳතාවක් ගොඩනගන්නට සමත් වුණා.

අගනා පිතිහරඹයක නිරත වූ වේඩ් රැස්කළ ලකුණු සංඛයාව 76 ක්.

ඔහු ඊයේ වාර්තා කළේ සිය 9 වන එක්දින අර්ධ ශතකයයි. ඒ සදහා ඇතුළත් වුණේ හතරේ පහර 3 ක් පමණක් වීම කැපී පෙනුණා. හෙඩ් ලකුණු 29 ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායමට තර්ජනයක් වෙමින් පැවැති වේඩ්ගේ මෙම ඉනිමට නැවතීමේ තිත තැබුවේ තිසර පෙරේරා.

වේඩ්ගේ දැවී යාමෙන් පසු ශ්‍රී ලංකාවට තර්ජනයක් ගෙන එන්නට ඔස්ට්‍රේලියානු පසුපෙළ පිතිකරුවන්ට ඉඩ ලැබුණේ නැහැ. ඇන්ජලෝ මැතිව්ස් 41 වන පන්දුවාරයේදී කඩුලු 2 ක් දවා ගත්තේ ඔස්ට්‍රේලියාවේ අවසන් බලාපොරොත්තුව වූ ට්‍රැවිස් හෙඩ්ගේ කඩුල්ලක් සමගයි.

පන්දුවාර 47 යි පන්දු 2 ක් තුළ සියල්ලන් දැවී ඔස්ට්‍රෙලියානු කණ්ඩායම රැස් කළේ ලකුණු 206 ක් පමණයි.

ඔස්ට්‍රේලියානු ඉනිමේ අවසන් කඩුලු දෙකේ අයිතිය ද තමන් සතු කර ගන්නට අමිල අපෝන්සු සමත් වුණා.

මේ අනුව ඔහු ලකුණු 18 කට බිද හෙලු කඩුලු සංඛ්‍යාව 4 ක්.

තිසර පෙරේරා කඩුලු 3 ක් දවා ගත්තා.

තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනාගත්තේ ඇන්ජලෝ මැතිව්ස්.

Comments

comments

SHARE