තිලංග ගෙන් අලුත් වැඩක්

1328
0

පළමු වරට ආසියානු ප්‍රිමියර් ලීග් T20 ක්‍රිකට්‌ තරගාවලියක්‌ පවත්වමින් ශ්‍රී ලාංකීය ක්‍රිකට්‌ ක්‍රීඩාව පෝෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සූදානම් වනවා.

අදාළ තරගාවලිය ලබන වසරේදී පැවැත්වීම සඳහා සැලසුම් කර ඇති අතර තරගාවලිය පැවැත්වෙන දින වකවානු තවම තීරණය කර නොමැති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සභාපති තිලංග සුමතිපාල මහතා sri lanka sports වෙත පැවසුවේ.

“ආසියානු ප්‍රිමියර් ලීග් ක්‍රිකට්‌ තරගාවලියක්‌ පවත්වනව කියල තවම අපි ප්‍රචාරය කරල නැහැ. කොහොම වුණත් ලබන වසරේ අපි ආසියානු ප්‍රිමියර් ලීග් තරගාවලියක්‌ ශ්‍රී ලංකාවේදී පවත්වනවා. ඒ සඳහා ආසියානු ක්‍රිකට්‌ සම්මේලන සාමාජිකයන් සමග සාකච්ඡා කර ඉදිරි සැලසුම ප්‍රකාශ කරනවා.” යෑයි සුමතිපාල මහතා වැඩිදුරටත් පැවසුවා.

මීට පෙර ශ්‍රී ලංකාවේ පැවැත්වු එස්‌.එල්.පී.එල්. තරගාවලිය වසර පහකට කොන්ත්‍රාත් අත්සන් කර තිබුණද එක්‌ තරගාවලියකින් පසුව එය නවතා දැමුවා. තවදුරටත් එවැනි තරගාවලි පැවැත්වීමෙන් පළක්‌ නොමැති බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාවට දැනෙන තරගාවලියක්‌ පැවැත්වීම මෙහි අරමුණයි.

ආසියානු ක්‍රිකට්‌ සම්මේලනයේ සාමාජිකත්වය දරණ සියලුම රටවල ක්‍රීඩකයන් මෙම තරගාවලියට සහභාගි විය හැකි අතර එහිදී ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්‌තානය සහ බංග්ලාදේශ යන රටවල ක්‍රීඩකයන් සියලුම දෙනාම තරගාවලියට සහභාගි කරගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සූදානමින් පසුවනවා.

“ඉන්දියානු ක්‍රීඩකයන් අයි.පී.එල්. හැරෙන්න කිසිම තරගාවලියකට සහභාගි වෙන්නෙ නැහැ. නමුත් මේ ආසියානු ප්‍රිමියර් ලීග් තරගාවලියක්‌. මේ තරගාවලියෙන් ලැබෙන ආදායම අපි ආසියාවේ ටෙස්‌ට්‌ රටවල් හතරටම බෙදනවා. ඒ නිසා සෑම රටකම ක්‍රීඩකයන්ව සහභාගි කරගන්න පුළුවන් කමක්‌ ලැබෙන බවයි” සුමතිපාල මහතා පවසන්නේ .

කලක සිටම මෙම ආසියානු ක්‍රිකට්‌ ප්‍රිමියර් ලීග් තරගාවලිය තමාගේ සංකල්පයක්‌ වූ බවත් එය ක්‍රියාත්මක කිරීමේ මූලික වැඩ කොටසට මේ වන විටත් අතගසා ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

Comments

comments

SHARE