විසේකාර පුත්‍ර රත්න

1155
0

2009 ශ්‍රී ලංකා කණ්ඩායමේ පකිස්ථාන තරග සංචාරයට ජයසුරියගේ සහයට ආරම්භක පිතිකරුවකු සොයමින් සිටි කාලවකවානුව එය විය.ඒ වන විටත් එක්දින පිටියේ තරග 150 කට අධිකව පුරා වසර 10 ක් මැදපෙළ පිතිකරුවකු ලෙස තෙම්පරාදු වූ තිලකරත්න ඩිල්ෂාන් විසින්ම තමන් ඊට සුදුසු බව ඉගි කලේ අන්තර් සමාජ පිටියේ හදිස්සියේ ඉනිම ඇරබීමත්  සමගය. පුද්ගලික ජීවිතයදී තම දෙවන ඉනිම ඒ වන විටත් ආරම්භ කර සිටි ඩිල්ෂාන්ට ක්‍රිකට් පිටියද අලුතින් ලියන්නට අවැසි විය. කරච්චි නුවරදී  ලකුණු 42 ක් සහ 76 ලබන ඩිල්ෂාන් ලාහෝර් ගඩාෆි පිටියේදී නොදැවී ශතක ලබන්නේ තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා ලෙසද සම්මාන ලබමිනි. තරගාවලියේ ජය ශ්‍රී ලංකාව ලබන විට තිලකරත්න ඩිල්ෂාන් කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරු ලෙස ස්ථානය තහවුරු කරගෙන තිබුණි.

එතැන් පටන් පුරා වසර 10 ක් සගවා සිටි තම පිතිකරණ හැකියාව ඩිල්ෂාන් ඉහලට ඔසවන්නට විය.2011 ලෝක කුසලාන තරගාවලියේ ඉහලම ලකුණු ලාභියා වූ ඩිල්ෂාන් 2015 ලෝක  කුසලානයේදී බංගලාදේශයට එරෙහිව නොදැවී ලබන ලකුණු 161 ශ්‍රී ලංකික පිතිකරුවකු ලෝක කුසලාන ඉතිහාසයේ ක්‍රීඩා කළ ඉහලම ඉනිමයි. එම ලකුණු 161 ට කිසිදු 6 පහරක් එක් නොවූ අතර ජාත්‍යන්තර එක්දින පිටියේ හයේ පහරක් නොලැබූ ඉහලම ඉනිම ලෙසත් එය සැලකෙනවා.

තිලකරත්න ඩිල්ෂාන් තම ක්‍රිකට් දිවියේ උපරිමයට ළගා වන්නේ 2009 T20 ලෝක කුසලාන තරගාවලිය තුළදීය.අවසන් තරගය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම රැගෙන යන්නට පිත්තෙන් සහ පන්දුවෙන් තම උපරිමය කල ඩිල්ෂාන් අවසන් තරගයේ ලකුණු ලබාගන්නට පෙර දවා ගන්නට පකිස්ථානය කල සැලසුම සාර්ථක කරගත් නිසාම අපට එවර ලෝක ශුරයන් ලෙස කිරුළු දැරීම මගහැරිනි.නමුත් එවර ලෝක කුසලාන තරගාවලියේ වීරයා ලෙසින් ඩිල්ෂාන් සම්මාන ලබන්නේ තවත් ජාත්‍යන්තර සම්මානයකට මග හෙළි කරගනිමි. තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී  බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඔහු පන්දු 57 කින් නොදැවී ලැබූ ලකුණු 96 එවර  ICC සම්මාන උළෙලේ ඇගයීමට ලක්වන්නේ වසරේ විස්සයි විස්ස ක්‍රීඩකයා ලෙස ද  සම්මාන ලබමිනි.

2011 පල්ලකැලේ පිටියදී බ්‍රෙට් ලී , මිචෙල් ජොන්සන්, ෂේන් වොට්සන් වැනි පන්දු යවන්නන් හමුවේ  ඩිල්ෂාන් පන්දු 57 කින් නොදැවී  ලැබූ ලකුණු 104 මෙතෙක් ලාංකිකයකු විස්සයි විස්ස පිටියේ ලද ඉහලම ඉනිමයි. ඒ සමගම ටෙස්ට් , එක්දින සහ විස්සයි විස්ස පිටියේ ශතක ලැබූ දෙවන ශ්‍රී ලාංකිකයා සහ ලෝකයේ  පස්වන ක්‍රීඩකයා බවට ඔහු පත් විය.

තම දෙවන ටෙස්ට් තරගයේදීම ශතකයක් ලැබූ ඩිල්ෂාන් ටෙස්ට් පිටියේ ආරම්භක පිතිකරුවා වීම ඇතැමෙකුට ප්‍රශ්නකාරී විය. නමුත් සුප්‍රකට ලෝර්ඩ්ස් පිටියේ ශ්‍රී ලාංකිකයකු ලද ඉහලම ලකුණු වාර්තාව ලබමින් ඩිල්ෂාන් ඊට පිළිතුරු සපයා ඇත.

ක්‍රිකට් පිටියේ ඕනෑම දෙයකට සුදානම් වූ ඩිල්ෂාන් 2011 ලෝක කුසලාන පරාජයෙන් පසු හදිස්සියේ  සංගක්කාර නායකත්වය අත්හැර විට එම කටු ඔටුන්න පලදින්නේ ඔහු  සතු කොණ්ඩ, රැවුල සහ කරාබු විලාසිතා විසිකරමිනි. තම කෙටි නායකත්ව කාල පරාසය තුල  ඉතිහාසයේ පළමු වතාවට දකුණු අප්‍රිකාව ඔවුන්ගේ භූමියේදීම ටෙස්ට් තරගයකින් පරාජය කල ශ්‍රී ලංකා  නායකයා වෙමින් ගෞරව ලබන්නටද ඩිල්ෂාන් සමත් විය.

ඩිල්ෂාන් ශ්‍රී ලංකා A කණ්ඩායමට එක්වන්නේ කඩුලු රකින්නා ලෙසය. නමුත් එවකට අතිරේක කඩුලු රකින්නා වූ සංගක්කාර ඒ වෙනුවෙන් ටිකෙන් ටික මුවහත් වනවිට තම හැකියාවන් පන්දු යැවීම දක්වාම තිරිහන් කරගන්නට ඩිල්ෂාන් සමත් වන්නේ ඔහු තුල තිබු නොපරදින විශ්වාසය නිසාමය. කඩුල්ල පිටුපස සිට උරුමවූ හැකියාව පිටිය පුරා විහිදුවන්නට ඩිල්ෂාන් සමත් වන්නේ රොෂාන් මහානාම ගෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමෙන් බිහිවූ පන්දු රකින්නා ඔහු බවට ජන හදවත් තුල මනාපය රදවමිනි.පන්දු රැකීමේ කලාවේ පිකාසෝ ජෝන්ටි රෝඩ්ස් නම් ඩිල්ෂාන් එහි ඩාවින්සි බව දකුණු අප්‍රිකානු ක්‍රීඩා විචාරකයකු සදහන් කර තිබුණි.

අතිශය තරගකාරී වූ IPL තරගාවලිය තුල ලකුණු ලබන්නට කඩුලු රකින්නාගේ හිසට ඉහලින් ඩිල්ෂාන් පහරක් නිර්මාණය කළේය. එය ජාත්‍යන්තර පිටියේත් අත්හදා බලා ඩිල්ෂාන් සාර්ථක වනවිට එම පහර හදුන්වන්නට නමක් ඕනෑ විය.”ඩිල්ස්කුප්” සමාජ ගත වන්නේ ක්‍රීඩකයකුගේ නමින් ලියාපදිංචි වූ පළමු ක්‍රිකට් පහර ලෙසිනි.

නුතන ක්‍රිකට් රටාවේ විලාසිතා මැවූ මේ විසේකාරයා තම 40 වන උපන් දිනට දින 40 කට මදක් අඩු දිනකින් ජාත්‍යන්තර පිටියෙන් නික්මෙන්නේ යායුතු හොදම මොහාතේ බවටනම් සැක නැත. ක්‍රිකට් ලොව දැවැන්තයින්  රැසකගේ වාර්තා අනාගතයේදී මැකී  යනබවනම් සිකුරුය  . විශ්ව නීතිය එයය. නමුත්  ඩිල්ෂාන්  කියන පරිදිම ක්‍රිකට් ක්‍රීඩාව පවතින තුරා ඔහු අමතක නොවනු ඇත. ඒ අදට වඩා හෙට “ඩිල්ස්කුප්” අලුත් වන ක්‍රිකට් රටාවට  කදිමට ගැලපෙන බැවිනි.

-මංජුල ලන්දෙකුඹුර-

Comments

comments

SHARE