‍ඇමරිකාවේදී ඉන්දියාවට කොදෙව්වන්ගෙන් අමතක නොවන පාඩමක්

957
0
Darren Bravo of the West Indies celebrates the win during the 1st international T20 Trophy match between India and the West Indies held at the Central Broward Stadium in Fort Lauderdale, Florida, United States of America on the 27th August 2016 Photo by: Ron Gaunt/ BCCI/ SPORTZPICS

තරග දෙකකින් සමන්විත බටහිර ඉන්දීය කොදෙව් සහ ඉන්දියාව අතර පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඊයේ පැවැත්වුණා ඇමරිකාවේදී.

මෙම තරගය එක් ලකුණකින් ජය ගන්නට ලෝක ශූර බටහිර ඉන්දීය කොදෙව්වන් සමත් වුණා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්දුවට පහර දිමේ අවස්ථාව කොදෙව්වන්ට ලබාදුන්නා.

කොදෙව් ඉනිම ආරම්භ කළ ජොන්සන් චාල්ස් සහ එවින් ලෙවිස් ඉන්දීය පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කරමින් පළමු කඩුල්ලට ලකුණු 126 ක් එක්කළා.

එම සබඳතාව  බිඳ වැටුණේ ලකුණු 79 කට චාල්ස් දැවී යාමත් සමගින්.

ඔහුගේ ඉනිමට හතරේ පහර 6 ක් සහ හයේ පහර 7 ක් ඇතුළත් වුණා.

ලෙවිස් පන්දු 49 කට මුහුණ දෙමින් අගනා ශතකයක් රැස් කළා.

ඒ, හතරේ පහර 5 ක් සහ හයේ පහර 9 ක් සමගින්.

කොදෙව්වන් නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 6 ක් දැවී ලකුණු 245 ක් ලබාගෙන.

එය පන්දුවාර 20 ක්‍රිකට් තරගයකදී කණ්ඩායක් රැස් කළ සිව්වන වැඩිම ලකුණු සංඛ්‍යාව ද වනවා.

පන්දු යැවීමේදී ජස්ප්‍රිට් බුම්රාහ් සහ රවීන්ද්‍ර ජඩේජා කඩුලු 2 බැගින් දවා ගත්තා.

ලකුණු 246 ක ජයග්‍රාහී ඉලක්කයක් සොයා ඉන්දීය ඉනිම ආරම්භ කළේ රෝහිත් ෂර්මා සමගින් අජින්කෙයා රහනේ.

මුළු ලකුණු සංඛ්‍යාව 31 ක් වෙද්දි රහනේ දැවී ගියා.

කෝලි ලකුණු 16 කට දවාගත් කොදෙව් පන්දු යවන්නන් තරගයේ පාලනය සියතට ගත්තා. .

නමුත් 3 වන කඩුල්ල සඳහා පිටියේ එක්වුණු රෝහිත් ෂර්මා සමගින් ලෝකේෂ් රාහුල් කොදෙව් පන්දු යවන්නන්ට අත දිග හැර පහර දෙමින් පන්දුවාර 7 යි එක් පන්දුවක් තුළ ලකුණු 89 ක් එක්කළා.

එම සබඳතාව බිද වැටුණේ ෂර්මා ලකුණු 62 කට දැවීයාමත් මගින්.

ඔහුගේ ඉනිම හතරේ පහර 4 කින් සහ හයේ පහර 4 කින් වර්ණවත් වුණා.

ෂර්මාගේ දැවී යාමෙන් අනතුරුව රාහුල් සමගින් පිටියේ එක්වුණේ මහේන්ද්‍ර සිං දෝණි.

ඔවුන් දෙදෙනා ද ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය අසලට ම රැගෙන ආවා.

ඒ, 5 වන කඩුල්ලට ලකුණු 107 ක සබඳතාවක් ගොඩ නගමින්.

ඒ අතර ලෝකේෂ් රාහුල් පන්දුවාර 20 තරග ඉතිහාසයේ දෙවන වේගවත්ම ශතකය වාර්තා කළා.

ඒ සඳහා ඔහුට වැය වුණේ පන්දු 46 ක් පමණයි.

ඉන්දියාවට අවසන් පන්දුවාරයේදි ජයග්‍රහණය සඳහා ලකුණු 6 ක ඉලක්කයක් හිමි වුණා.

නමුත්, ඔවුන්ට ලබා ගැනිමට හැකි වුණේ ලකුණු 4 ක් පමණයි.

ඉන්දීය ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 4 කට ලකුණු 244 ක් ලබා සිටියදී.

මෙම තරගයේදී කණ්ඩායම් දෙකම ලකුණු 489 ක් රැස් කළා.

එය වාර්තා පොත් අතරට එක් වන්නේ ඕනෑම ආකාරයේ පන්දුවාර 20 ක්‍රිකට් තරගයකදී කණ්ඩායම් දෙකක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

එමෙන්ම, මෙම තරගයේදී කණ්ඩායම් දෙකේම පිතිකරුවන් හයේ පහර 32 ක් එල්ල කළා.

එයද වාර්තාවක්.

පන්දුවාර 20 ක්‍රිකට් තරගයකදී එල්ල වුණු වැඩිම හයේ පහර සංඛ්‍යාවද මෙයයි.

මෙම තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනාගත්තේ එවින් ලෙවිස්.

 

 

Comments

comments

SHARE