විශිෂ්ටයකුගේ එක්දින සමු ගැනීම

382
0

ලොව බිහිවූ සුපිරි ආරම්භක පිතිකරුවෙක් අද සිය එක්දින තරග දිවියට සමුදුන්නා.

ඒ මේ වනවිට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගයේදී.

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන මෙම තරගය ටී.එම්.ඩිල්ශාන්ගේ අවසන් එක්දින ක්‍රිකට් තරගයයි.

මේ සුපිරි ක්‍රීඩකයාගේ අවසන් එක්දින ඉනිම නරබන්නට කල්තියාම අති විශාල ක්‍රීඩා ලෝලීන් පිරිසක් දඹුල්ල ක්‍රීඩාංගනයට පැමිණ සිටියා.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායකයා දඹුල්ල තණ තීරුවේ පළමුව පන්දුවට පහර දුන්නා.

නමුත් මුළු ලකුණු සංඛ්‍යාව 23ක් වෙද්දී ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් ක්‍රීඩාගාරයට ගොස් සිටියා.

එම අවස්ථාවේදී තුන් වන කඩුල්ල සදහා පිටියේ එක්වුණු ඩිල්ශාන් සහ චන්දිමාල් ශ්‍රී ලංකා ඉනිම ගොඩ ගැනීමේ සටන ආරම්භ කළා.

සිය අවසන් එක්දින තරගයේදීත් පිතිකරණයේ වගකීම ඉටුකළ ඩිල්ශාන් ,චන්දිමාල් සමග එක්ව තුන්වන කඩුල්ලට ලකුණු 73ක් එක්  කළා.

ලකුණු 42ක් ලබාගෙන සිටියදී ඇඩම් සමපා එවූ පන්දුවක් මිඩ් විකට් කලාපයට ඉහලින් එල්ල කිරීමට යාමේදී එය උඩ පන්දුවක් ලෙස ජෝර්ජ් බෙයිලි සුරතේ රැදීම නිසා ටී.එම්.ඩිල්ශාන්ගේ ජාත්‍යන්තර එක්දින තරග දිවියට නැවතීමේ තිත වැටුනා.

සිය 330වන එක්දින තරගයෙන් ජාත්‍යන්තර එක්දින තරග බිමට සමුදුන් මේ අසහාය ක්‍රීඩකයා දඹුල්ල ක්‍රීඩාංගනයෙන් පිටව ගියේ රැස්ව සිටි ක්‍රීඩා ලෝලීන්ගේ උණුසුම් ප්‍රතිචාර මධ්‍යයේ.

ඊට ප්‍රතිචාර දක්වන්නටත් ඩිල්ශාන් අමතක කලේ නැහැ.

Comments

comments

SHARE