රියෝ පසුවදන

214
0

මේ දිනවල ක්‍රීඩා අමාත්‍යවරයාට ඉස්පාසුවක් නැති තරම් ය. ඔහු රියෝ ඔලිම්පික් බලා ගොස් ඇත්තේ ලංකාවේ ක්‍රීඩා වැඩපිළිවෙළක් නිර්මාණය කරන්නට දැනුම ගන්නටය. ඒ සඳහා ඔහු වෙහෙසෙන ප්‍රමාණය කෙසේ වෙතත් පොටෝවලට පෙනී සිටිමින් නළු රංගනයක යෙදෙනු පෙනේ. ඔහුගේ ආශාව අපට ප්‍රශ්නයක් නොවන මුත් ඔහු මේ ජවුසන් හරහා කුමන ඉටි ගෙඩියක් කරන්නේ ද? යන්න හිතා ගන්නටවත් බැරි තරම්ය.

ඉන්දියාවේ පැවති සාක් ක්‍රීඩා උළෙලට මේ ඇමැත්තා ප්‍රමුඛව ක්‍රීඩා අමාත්‍යංශයම සහභාගී වූවා මතකය. එහෙත් අප ඉන් උකහා ගත්තේ කුමක් ද? අඩුම තරමේ සංගම්වලට හිතුමනාපේ බෙදපු මුදල්වලට කළේ කුමක් ද? යන්නවත් තෝරා බේරා. යන්නට ඔහුට බැරි විය.

එහෙව් ඇමති රියෝ ගොස් මෙරට ක්‍රීඩාවට ගෙන එන්නේ කුමන දැනුමක් ද? ක්‍රීඩාවට දැනුම ලබා ගත යුත්තෝ මෙරට තබා තම හිතවතුන් ඡන්දයට උදව් කළ කුරුණෑගල ව්‍යාපාරිකයින් ඔලිම්පික් රැගෙන ගිය දයාසිරි ජයසේකර මෙරට ක්‍රීඩාවේ දියුණුවට රැගෙන එනුයේ කුමක් ද?

ශ්‍රී ලංකාවෙන් රියෝ ඔලිම්පික් ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබාගත් ස්ථාන මෙරට ක්‍රීඩාවේ සැබෑ ස්ථානය. ඒ ගැන විවාදයක් නොපවතීි. විකාර මාධ්‍යවේදියෝ මැතිව් දිනන බවට මනෝජ්ගේ සාක්කුවේ සිට ලීිවාට එය ක්‍රීඩාව ගැන දන්නා පොඩි එකකු වුවදන්නේ මැතිව්ට කළ හැකි දෙයක් නැති බවය. වයිල්ඞ් කාඞ් පතින් ඔලිම්පික් ගිය මැතිව් ගැන අවතක්සේරුවක් නැති මුත් අපට නිවැරදි තක්සේරුවක් ඇත. ඔහුගේ පියාට තම පුතා මයිකල් පෙලෙප්ස්ට වඩා ඉහළ වටිනාකම් ඇති දක්‍ෂයකු යන සිතුවිල්ල ඇති මුත් අපට එවැනි ව්‍යාජ තක්සේරු නැත. එ බැවින් ඔහු සහභාගී වූ පනස් පස්දෙනාගෙන් (55) පනස් වෙනියා වීම අරුමයක් නොවේ. කිමිකෝ 34 දෙනාගෙන් 28 වැනියා වීමත් මැරතන් ක්‍රීඩිකා ව එකසිය විසි ගණනනක් වීමත් වෙඩික්කකරුවා අවසාන තැන ගැනීමත් අරුමයක් ද?

බැඞ්මින්ටන් ක්‍රීඩක නිලුක කරුණාරත්න හඬා වැටෙමින් ලබන වාරයේ ඔලිම්පික් එන්නටද සිහින මවන බව කීවේය. ඒ කුමකට ද? දැන් මේ සියල්ලන්ගේම කාලය හමාරය. කිමිකෝ වූව පිහිනුම් ක්‍රීඩා ඉසව්ව හා සසඳන විට කුඩා ළමයකු නොවේ.

මේ හැම දෙනාටම ලබන ඔලිම්පික් වනතෙක්ම මෙරට වීරයන් විය හැකිය. අවැසිනම් සාෆ් කලාපයේ වීරයන් විය හැකිය.එහෙත් ඉන් එහාට ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තත්ත්වය කුමක් ද?

හෙල්ල විසිකිරීම ලාංකේය ක්‍රීඩකයෙක්ට ලේසි පහසු නැති බව ඔප්පු කොට හමාරය. එහෙත් ඉන් අදහස් කරනුයේ අපට ඒ කිසිවකට ලඟා විය නොහැකි බව නොවේ. එහෙත් ළඟා විය හැකි වැඩ පිළිවෙළක් නැති බවය. නිසි පුහුණු ක්‍රමවේදයක් නැති බවය. මෙරට එක වී සාෆ් එක වුවාට ලෝකය දිනිය නොහැකි බව සිතිය යුතුය. ඉන් එහාට යෑමට පුදුමාකාර වෙහෙසක් මනා දැක්මක් නිසි පුහුණුවක් පමණක් නොව පෝෂ්‍යදායි ආහාර පවා අවශ්‍යය. මේ සියල්ල සපුරා ගෙන විනා අපට ලෝකය දිනිය නොහැකිය. බොරු කයිවාරු සෝබන ඇද නොබා ඇත්ත පිළිගත යුතුය. විනෝදවන්නට රියෝ ගිය ක්‍රීඩා ඇමති ප්‍රමුඛ නඩයට ක්‍රීඩාව ගැන සැබෑ කැක්කුමක් නැත. ඔහු ක්‍රීඩා ඇමති ලෙස රට සවාරි යන අතර හෙට අමාත්‍ය ධූරයෙන් ඉවත් වුවද ඔහු ඇමති ලෙස කරගත යුතු දෑ කරගෙන අවසන්ය.

Attachments

Comments

comments

SHARE