ඩිල්ශාන්ගේ සමුගැනීමේ සාදය කැන්ගරුවන් කඩාකප්පල් කරයි

683
0

ලොව බිහිවූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ටී.එම්.ඩිල්ශාන්ගේ සමුගැනීමේ සාදයට ජයග්‍රාහී අවසානයක් ලබා දෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ හැකිවුණේ නැහැ.

ඒ ඔස්ට්‍රේලියාව සමග පැවති තුන්වන එක්දින තරගය කඩුලු 2කින් පරාජය වීම නිසා.

මෙම තරගය ටී.එම්.ඩිල්ශාන් සහබාගි වුනු අවසන් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයයි.

එක්දින තරගයක නායකත්වයේ වගකීම කරටගත් ඩේවිඩ් වෝනර් කාසියේ වාසිය උරගා බලන්නට පිටියට පිවිසියත් එහි වාසිය ශ්‍රී ලංකා නායකයා සතු වුනා.

මැතිව්ස් දෙවරක් නොසිතාම දඹුල්ල තණ තීරුවේ පළමුව පන්දුවට පහර දෙන්නට තීරණය කළා.

එය එතරම් යහපත් නොවුයේ මුළු ලකුණු සංඛ්‍යාව 23ක් වෙද්දී ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් ක්‍රීඩා ගාරයේ අසුන් ගෙන සිටීම නිසයි.

කෙසේ වුවත් සිය අවසන් එක්දින තරගයට ක්‍රීඩා කල ටී.එම්.ඩිල්ශාන් සිය වගකීම් කොටස ඉටු කරමින් දිනේෂ් චන්දිමාල් සමග එක්ව ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගුවා.

ඒ තුන්වන කඩුල්ලට ලකුණු 73ක් එක් කරමින්.

ලකුණු 42ක් ලබාගෙන සිටියදී සිය අවසන් එක්දින තරගයට නැවතීමේ තිත තබන්නට ටී.එම්.ඩිල්ශාන්ට සිදුවුනේ ඇඩම් සම්පාගේ පන්දුවකට හරවා එල්ල කල පහරක් ජෝර්ජ් බෙයිලිගේ සුරතේ රැදීම නිසයි.

ඩිල්ශාන්ගේ දැවී යාමත් සමග දිනේෂ් චන්දිමාල් එක් අන්තයක හුදකලා වුනා.

පසුපෙළ පිතිකරුවන්ගෙන් ඔහුට සැලකිය යුතු දායකත්වයක් ලැබුනේ නැහැ.

නමුත් සිය සටන අත්නොහළ චන්දිමාල් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් සිය සිව්වන එක්දින ශතකය වාර්තා කළා.

ඒ අතරවාරයේ ඔහු එක්දින ලකුණු 3000 සීමාවද පසුකළා.

පන්දුවාර 49යි පන්දු 2ක් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 226ක් රැස් කළා.

පන්දු යැවීමේදී ඇඩම් සමපා කඩුලු 3ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ඕස්ට්‍රේලියා කණ්ඩායමේ පළමු කඩුලු තුන ලකුණු 44ක් තුල දවාගත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් තරගයට ඉක්මනින් අවතීර්ණ වුනා.

කෙසේ වුවත් කල්පනාකාරීව පන්දුවට පහරදුන් ජෝර්ජ් බෙයිලි ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු සැලසුම් සුනු විසුනු කළා.

ඔහු ටැවිස් හේඩ් සමගින් එක්ව සිව්වන කඩුල්ලට ලකුණු 62ක් එක්කරමින් ඕස්ට්‍රේලියා ජයග්‍රහණයට අවශ්‍ය අඩිතාලම දැමුවා.

ට්‍රැවිස් ලකුණු 36යි.

අනතුරුව බෙයිලි සහ මැතිව් වේඩ් එක්ව පස්වන කඩුල්ලට ලකුණු 81ක් එක්කරමින් තරගය ශ්‍රී ලංකාවෙන් උදුරා ගත්තා.

වේඩ් ලකුණු 42යි.

අනතුරුව ලකුණු 18ක් තුල ඕස්ට්‍රේලියානු පිතිකරුවන් තිදෙනෙක් දවා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරගයට අවතීර්ණ වුනත් එය කැන්ගරු ජයග්‍රහණය වලක්වාලන්නට ප්‍රමානවත්වුනේ නැහැ.

ඕස්ට්‍රේලියා ජයග්‍රහණයේ නියමුවා වුනු ජෝර්ජ් බෙයිලි ලකුණු 70ක් ලබා ගත්තා.

ඔවුන් පන්දුවාර 46කදී කඩුලු 8ක් දැවී ලකුණු 227ක් ලබාගෙන මෙම තරගය ජය ගත්තා.

පන්දු යැවීමේදී මැතිව්ස්,අපොන්සු,ඩිල්රුවන් කඩුලු දෙක බැගින් බිද හෙලුවා.

තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත්තේ ජෝර්ජ් බෙයිලි.

මෙම ජයග්‍රහණයත් සමගින් තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය තරග 2 – 1ක් ලෙස ඔස්ට්‍රේලියාව පෙරමුණ ගත්තා.

Comments

comments

SHARE