උඩ බලාගෙන කෙල ගහන්න මම කැමති නැහැ – ටී.එම්.ඩිල්ශාන්

991
0

එක්දින පිටියෙන් සමුගත් ටී.එම්.ඩිල්ශාන් ඊයේ දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වුවා.

එහිදී ඔහු පැවසුවේ ක්‍රිකට් තවමත් තමන්ගේ ඇගේ තිබුනත් නවකයින්ට අවස්තාව දී ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කල බවයි.

“මට එදා හිතුනා නැගිට්ටට පස්සේ මේක වෙලාව කියලා.මට තාම ක්‍රීඩාකරන්න පුළුවන්.ඇත්ත කිව්වොත් තව අවුරුද්දක් දෙකක් තාම ක්‍රීඩා කරන්න පුළුවන්.

මං අවුරුද්දක් දෙකක් ගහල අයින් වෙද්දී ලෝක කුසලානයට අවුරුද්දක් එක හමාරක් තියෙද්දී රටට සහ කණ්ඩායමට කරන ලොකු අසාධාරණයක්.

තව එකක් කියන්න ඕන වෘතීය මට්ටමෙන් නම් පුහුණුකරුවෙක් වෙන් නැ.

සුමානයක් වැඩ කරලා. අවශ්‍ය දෙයක් තියෙනවනම් මං ඉගෙන ගත්ත ක්‍රිකට් ජිවිතයෙන් අනිවාර්යයෙන් නවකයින් වෙනුවෙන් මං ඒක කරන්න ආසාවෙන් ඉන්නවා.”

ගෙවීගිය 17වසර දෙස ආපසු හැරී බලද්දී තමන්ට සතුටු විය හැකි බවයි ටී.එම්.ඩිල්ශාන් පවසන්නේ.

“මට සන්තෝෂ වෙන්න පුළුවන් මම ආපු 17වසරක ගමන ගැන.රට වෙනුවෙන් මං දෙයක් කළා.මං හැම වෙලාවේම මගේ ක්‍රීඩාව එන්ජෝයි කළා.

මගේ ගෙදර අය ,බිරිඳ,දරුවෝ,දෙමවුපියෝ මං දැන් හිතල තියෙන්නේ ඒගොල්ලෝ වෙනුවෙන් කාලය යොදවන්න ඕන.

මොකද සැහෙන ඒගොල්ලන්ගේ දේවල් කැපකලා මන් වෙනුවෙන්.දැන් කාලය ඇවිල්ල තියෙනවා ඒගොල්ලන්ගේ දේවල් වෙනුවෙන් මගේ කාලය යොදවන්න.

මේ වෙනකොට කිසිම තීරණයක් නෑ .ආයේ කාර්ය බහුල වෙන්න මං ආස නැහැ.

මගේ ජිවිතේ දේශපාලනයට එන්න නම් තාම නැහැ හේතුවක්.”

2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය බාර ගැනීමට ටී.එම්.ඩිල්ශාන් ට සිදුවුනා.

නමුත් එම අවස්ථාවේදී කණ්ඩායමේ ජෙෂ්ටයින්ගෙන් සහ පුහුණුකරුවන්ගෙන් ඔහුට නිසි සහයෝගය ලැබී නැහැ.

විශේෂයෙන්ම ඇන්ජෙලෝ මැතිව්ස්ගේ ක්‍රියා කලාපය පිලිබදව ටී.එම්.ඩිල්ශාන් මෙම මාධ්‍ය හමුවේදී කනස්සල්ලෙන් යුතුව සිහිපත් කළා.

“ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කරලා තියෙන්නේ සවුත් අප්‍රිකාවලදී මගේ නායකත්වයෙන් විතරයි.සෑහෙන ප්‍රශ්න තිබුනා මට.ඒ අවුරුද්ද පුරා මං ගොඩක් දේවල්  ඉගෙන ගත්තා.ඒ හැමදෙයක්ම පැත්තකට දාල අලුත් නායකයෙක් ආවා.ඔස්ට්‍ර්ලියාවට ගියා ලකුණු 500ක් ගැහුවා.තරගාවලියේ වීරයා වුනා.

මට ප්‍රශ්නයක් නෑ.කවුද නායකයා, කවුද මාව අයින් කලේ.හැමවෙලාවෙම මම සෙල්ලම් කලේ මගේ රටට.සෑහෙන දුකක් දැනුනා හිතට මොකද නායකයෙක් හිටියේ නෑ .නායකත්වය කරන්න.ඔක්කොම අයින් වුනා.

මං ඇත්තටම කැමතිවුනේ නැහැ නායකත්වය බාර ගන්න.මොකද මගේ කිසිම අදහසක් තිබුනේ නැහැ.ඩී.එස්.අයියා කතාකරලා කිව්වා මට මාස 6ක් අදාල දෙන්න.එංගලන්තේදී මගේ අතට බොලේ වැදිලා ඇගිල්ල කැඩුනට පස්සේ හිටපු නායකයින්ට කිව්වා නායකත්වය කරන්න කියල බැහැ කිව්වා.ඇන්ජෙලෝ මැතිව්ස් මං නායකත්වය කරපු අවුරුද්ද පුරාම ඔහුට පන්දු යවන්න බැරි ප්‍රශ්නයක් තිබුනා.කාෆ් එකේ අබාධයක් තිබුනා අවුරුද්ද පුරාවට.මගේ අවාසනාව වෙන්න ඇති ඒක.මොකද මම අයින්වෙලා සතියක් යනකොට අපි ඔස්ට්‍රේලියාවට ගියා,ඒ සතියේදී මැතිව්ස් පන්දු යවන්න පටන් ගත්තා.ඒක මහේලගේ වාසනාව වෙන්න ඇති මගේ අවාසනාව වෙන්න ඇති.ක්‍රීඩකයින්ගෙන් විතරක් නෙවෙයි හිටපු සමහර පුහුනුකරුවොන්ගේත්  ඒ දේ ලැබුනේ නැහැ.මොකද මං නායකත්වය දරද්දී පුහුණුකරුවෝ හතරදෙනෙක් පස්දෙනෙක් විතර හිටියා.ඒ අවුරුද්ද ඇතුලත.

නවකයෝ ඒ දේ දන්නවා.නවකයින්ගෙන් හොද සහයෝගයක් ලැබුනා මට ඒ අවුරුද්ද පුරාවට.මම සන්තෝෂයි මොකද ඒ අවුරුද්ද පුරාම මං ගෙනාපු ක්‍රීඩකයෝ තමයි අද තරග ජයග්‍රහණය කරන්නේ.ඒකට මට ලොකු ප්‍රශ්නයක් වුනා ඇයි නවකයින්ට මෙච්චර අවස්තාව දෙන්නේ කියලා.ඒ හැම ප්‍රශ්නයක්ම මම ගෙදර අයත් එක්ක කතාකරලා මම තියා ගත්තා ඒ අවුරුද්ද පුරාවට.ප්‍රශ්න දැන් කියල වැඩක් නෑ මොකද ඒවා පහුගිය දේවල්.උඩ බලාගෙන කෙල ගැහුවම අපේ මුනටමයි වැටෙන්නේ.අපේ ක්‍රීඩකයෝ අපි ආරක්ෂා කරගන්න ඕන.

මේ වෙලාවේ මං ප්‍රශ්නයක් තියල ගියෝතින් ඉදිරියට අපේ නවකයින්ටත් ඒක ප්‍රශ්නයක්.පහුගිය දේවල් යටගිය දේවල් එහෙම යටගිය දේන් .අපි කරන්න ඕන අපේ නවකයින් එක්ක ඉස්සරහට යන එක.”

ටී.එම්.ඩිල්ශාන්ගේ සමුගැනීම පසුපස ඇති කතා පුවත මෙරට මාධ්‍යක් ඔස්සේ පළමු වරට හෙළිකළේ SRI LANKA SPORTS අපියි.

එය යතාර්ථයක් බවට පත්වන ලකුණු මේ වනවිට පෙන්නුම් කරනවා.

ටී.එම්.ඩිල්ශාන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නේ කිසිවෙකුගේ බලපෑමකින් නොවන බව ඩිල්ෂානුත් පුන පුනා පැවසුවත් අප දැනුදු පවසන්නේ ඔහුගේ සමුගැනීම පසුපස සිටින ප්‍රබලතම හස්තය තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජෙලෝ මැතිව්ස් යන දෙදෙනා බවයි.

අවසන් T 20 තරගයේදී හෝ සත්‍ය පවසන්නට ටී.එම්.ඩිල්ශාන්ට හැකියාවක් ලැබුනහොත් එය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට යහපත් එකක් වනු ඇති බවයි අපගේ විශ්වාසය.

Comments

comments

SHARE