කායවර්ධන සභාපතිට වැඩ වරදී

107
0

කායවර්ධන සභාපතිවරයාට හිමි වගකීම් සහ කාර්යය භාරයන් මොනවාද යන්න ශ්‍රී ලංකා කායවර්ධන සහ ශාරීරික යෝග්‍යතා සම්මේලන ව්‍යවස්‌ථාවේ පැහැදිළිව සඳහන් වී තිබුණද වත්මන් කායවර්ධන සභාපතිවරයා විසින් සිදුකරගෙන යනු ඇතැයි කියන අත්තනෝමතික ක්‍රියා කළාපය හමුවේ එම සම්මේලනය දිනෙන් දිනෙම පරිහාණියට යමින් තිබෙන බව සම්මේලන ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

වත්මන් කායවර්ධන සම්මේලනය කොටස්‌ දෙකකට බෙදී කටයුතු කිරීම ක්‍රීඩා අමාත්‍යවරයා දක්‌වා දුරදිග ගොස්‌ තිබෙන කරුණක්‌ බවට පත්වී තිබුණද මේ දක්‌වා එයට කිසිදු විසඳුමක්‌ ලැබී නොමැත. සභාපතිවරයාගේ අවශ්‍යතාවය වන්නේ කායවර්ධන සම්මේලන වැඩකටයුතු අපහසුතාවයට ලක්‌ කිරීම වුවද ඒ සියල්ල පසෙකාලමින් සම්මේලන කටයුතු වත්මන් ලේකම්වරයා වන නිහාල් වීරතුංග මහතා ඇතුලු විධායක කමිටුව විසින් සිදුකර ගෙන යනු ලබන බව මේ පිළිබඳව තතු දත් උදවිය සඳහන් කර සිටියි.

මෙහිදී 2015 වසරට අදාළ වූ කායවර්ධන විගණන වාර්තාවට අනුව වත්මන් සභාපතිවරයා විසින් සම්මේලනයේ මුදල් අත්තනෝමතික අයුරින් ලබාගෙන තිබෙන තහවුරු වී තිබෙන අතර එය මේ වන තෙක්‌ සංගමය වෙත පියවීමට ඔහු කටයුතු නොකිරීම ඉහත තත්ත්වයට කදිම උදාහරණයක්‌ වන බව එම ආරංචි මාර්ගයේ වැඩිදුරටත් සඳහන් වේ.

මෙහිදී සභාපතිවරයා වන කිත්සිරි ප්‍රනාන්නදු මහතා විසින් රු. 150,000 ක මුදලක්‌ ලබාගෙන තිබෙන අතර ඔහුට අමතරව සභාපතිවරයාට හිතවත් කෙනෙකු යෑයි සැලකෙන හිටපු ලේකම් හේමල් ඩයස්‌ මහතා විසින් රු. ලක්‌ෂයක මුදලක්‌ද සහ වත්මන් උප සභාපතිවරයකු වන ප්‍රියන්ත ගජනායක මහතා විසින් රු. පනස්‌ දහසක මුදලක්‌ ලබාගෙන තිබෙන බව එම විගණන වාර්තා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

2015 වසරේ කොළඹ ආනන්ද විදුහලේ පැවැති අයෝමය ශූරයා තේරීමේ තරගාවලියට අදාළව මෙම මුදල් ලබාගෙන තිබෙන බව සඳහන් වන නමුත් එම මුදල්වල පියවීම් තවමත් සිදු කර නොමැති හෙයින් එම මුදල් ඔවුන්ගෙන් අයකරගත යුතු බවට එම සම්මේලන විගණන වාර්තාවේ සඳහන් වන බව මේ පිළිබඳව තතු දත් උදවිය ‘දිවයින’ හමුවේ සඳහන් කර සිටියහ.

මෙහි විශේෂත්වය වන්නේ වත්මන් කායවර්ධන සම්මේලනයේ සභාපතිවරයාට විරුද්ධව එම සම්මේලනයේ වත්මන් භාණ්‌ඩාගාරිකවරයා ලෙස කටයුතු කරනු ලබන දිනේෂ් ෆොන්සේකා මහතා විසින් විගණකාධිපතිවරයා වෙත පැමිණිලි කර සිටීම වේ.

ක්‍රීඩා සමාජ ඡන්දයකින් තොරව විධායක කමිටුවේ අභිමතය පරිදි පත්වූයේ යෑයි කියන වත්මන් සභාපති කිත්සිරි ප්‍රනාන්දු මහතා ධුරයට පත්වී වසර 2 කට ආසන්න කාලයක්‌ ගතවී ඇතත් මේ වන තෙක්‌ එකම හෝ තරගාවලියක්‌ සංවිධානය කිරීමට අපොහොසත් වීම කැපී පෙනෙන බව එම පිරිස්‌ වැඩිදුරටත් පෙන්වා දෙයි.

කෙසේ වෙතත් නව ලේකම්වරයා ලෙස පත්ව සිටින නිහාල් වීරතුංග මහතා සිය පෞද්ගලික වියදමින් සම්මේලනයේ කටයුතු සිදුකරගෙන යනු ලබන තත්ත්වයක්‌ මේ වන විටත් උද්ගත වී තිබෙන බව පැවසෙන අතර එහිදී පැවැත්විය යුතු ජාතික තරග මෙන්ම ප්‍රවර්ධන කටයුතු සියල්ල ඉටු කරමින් සම්මේලනය රැක ගැනීම සඳහා දැඩි ප්‍රයත්නයක්‌ දරන බවද සඳහන් වේ.

Comments

comments

SHARE