කුසල් ජනිත් බේරා ගත් වෛද්‍යවරයා කනස්සල්ලෙන්

5055
0

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා තහනම් උත්තේජක ගැනීමේ
චෝදනාවෙන් නිදහස් කර ගැනීමට මූලික අඩිතාලම දැමූ බව කියන විශේෂඥ වෛද්‍ය බී.කේ.ටී.පී. දයානාත් මහතා ඒ පිළිබඳව සිය සේවය අගය කිරීමට මේ වනතෙක් ඉදිරිපත් නොවීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හා ක්‍රීඩා අමාත්‍යාංශයට සිය බලවත් කනස්සල්ල පළ කරයි.

මේ වනවිට උතුරු කොළඹ (රාගම) ශීක්ෂණ රෝහලේ වය්‍යාධිවේදී අංශයේ ප්‍රධානියා ලෙසත් එහි ජීව රසායනක විශේෂඥ වෛද්‍යවරයා ලෙසත් කටයුතු කරන දයානාත් මහතා ඒ සම්බන්ධයෙන් බලවත් සිත් තැවුලට පත්ව සිටින අතර සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ද ලිපියක් යොමුකර තිබේ.

ඔහු ඒ ගැන ජනාධිපතිවරයාට යොමු කළ ලිපියෙන් දන්වා ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා බේරා ගැනීමේ සිද්ධියේදී තමා කිසිදු ලාභ ප්‍රයෝජනයක් අපේක්ෂා නොකරන නමුත් තිරයෙන් පිටුපසු වූ මෙම සිදුවීම පිළිබඳව ජනතාවට සත්‍ය තත්ත්වය පහදා දීමට තීරණය කළ බවත්ය. මෙවැනි කාරණාවලින් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ සිටින බුද්ධිමතුන්ට රට තුළ නිසි පිළිගැනීමක් නොමැති බවත් ඔවුනට මෙහිදී රට හැරයාම හැරෙන්නට වෙනත් විකල්පයක් නැතැයිද විශේෂඥ වෛද්‍ය දයානාත් මහතා ජනාධිපතිවරයාට යොමුකළ ලිපියේ අවධාරණය කර තිබේ. කුසල් ජනිත් පෙරේරා නිදහස් කර ගැනීමට දායක වීම සම්බන්ධයෙන් ඔහු දක්වන කරුණු කෙටියෙන් මෙසේය.

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ලෝක තහනම් උත්තේජක නිවාරණය ඒජන්සිය (WADA) අනුමත නිදර්ශන වාර්තාවක් පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාට පසුගිය දෙසැම්බර් මාසයේදී තහනමක්  පනවන ලදී.

මේ සම්බන්ධයෙන් පිටු 51 කින් සමන්විතව නිකුත් කළ රසායනාගාර වාර්තාව ජනාධිපති නීතිඥ දිනාල් පිලිප්ස්, කුසල් ජනිත්ගේ කළමනාකරු රවී ද සිල්වා යන මහත්වරුන් විසින් මා වෙත රැගෙන එනු ලැබීය.

එම වාර්තාව හොඳින් අධ්‍යයනය කිරීමෙන් පසුව එහි දෝෂයක් පවතින බව මා මොහොතකින් ඔවුන්ට දැනුම්දීමට උනන්දු වුණෙමි. ඒ අනුව මාගේ අත්සනින් සකස් කළ පිටු දෙකකින් සමන්විත වාර්තාවක් සකස් කරදී නියැදි පරීක්ෂාවට අවශ්‍ය උපදෙස් හා සහයද ලබා දුන්නෙමි. එහිදී මා පෙන්වා දුන්නේ රසායනාගාර වාර්තාවේ දක්වා ඇති පරිදි කුසල්ගේ ශරීර ගත වී තිබෙන බව කියන තහනම් උත්තේජක ප්‍රමාණය ගණන් ගත නොහැකි තරම් ඉතා අඩු ප්‍රමාණයක් බවය.

එය මා විසින් පළමු වරට පෙන්වාදීමෙන් පසු අදාළ රසායනාගාරය කුසල් ජනිත් සම්බන්ධයෙන් නිකුත් කළ මුල් වාර්තාව දෝෂසහගත බව පිළිගනිමින් එය ඉවත් කර ගැනීමට කටයුතු කළේය.

කුසල් නිදහස් කර ගැනීමේ ආරම්භය වූයේ එයයි. මා පෙන්වා දුන් මෙම කරුණු මත පිහිටා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම සිද්ධියේදී සේවය ලබාගත් විදේශීය නීතිඥ කණ්ඩායම අන්තර්ජාතික ක්‍රිකට් සභාවට කරුණු පහදා දී කුසල් ජනිත් අදාළ චෝදනාවෙන් නිදොස් කරගන්නා ලදී. කුසල් ජනිත් මේ සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ දිනාප් පිලිප්ස් හා කුසල්ගේ පෞද්ගලික කළමනාකරු රවී ද සිල්වා කළ ප්‍රකාශයක් තුළින් කුසල් ජනිත් හා ශ්‍රී ලංකාව අපකීර්තියෙන් ගලවා ගැනීමට මහත් වූ පිටුවහලක් වූ බව පිළිගන්නා ලදී.

කෙසේ වුවත් මෙම සිද්ධියේදී විශාල කාර්යභාරයක් කළ මා වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත් ක්‍රීඩා අමාත්‍යාංශයටත් මේ වනතුරු ලිපියකින් හෝ අඩු තරමින් වචනයකින්වත් ස්තුතිපුර්වක නොවීම මට මහත් සිත් වේදනාවක් ඇති කර තිබේ.

ක්‍රීඩා අමාත්‍යාංශය සතුව වෛද්‍ය මණ්ඩලයක් ඇති බව මා දනිමි. එහෙත් මෙම වාර්තාව පිළිබඳව නිගමනයකට ඒමට තරම් සුදුසුකම් ඇති වෛද්‍යවරයෙකු නොවීමත් හෝ ඒ පිළිබඳව යොමු කිරීමට ක්‍රමවේදයක් හෝ ඔවුන් සතුව නැතිවීම පිළිබදව ක්‍රීඩා ඇමතිවරයාට හා ක්‍රිකට් ආයතන සභාපතිවරයාට අවබෝධයක් නොමැතිවීම මෙම තත්ත්වයට හේතු වූ බව මම සිතමි.

ක්‍රිකට් ආයතනය හා ක්‍රීඩා අමාත්‍යාංශය මුනිවත රැක ගැනීමට එයද හේතුවන්නට ඇති බව මා වැඩිදරටත් විශ්වාස කරමි. කෙසේ වුවත් මේ සියලු දෑ මා විසින් කරනු ලැබුවේ කිසිදු ලාභාපේක්ෂාවෙන් නොවන බවත් හුදෙක් මෙම නිදොස් ක්‍රීඩකයා චෝදනාවෙන් නිදහස් කර රට අපකීර්තියෙන් මුදවා ගැනීමට බවත් නැවත අවධාරණය කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

මේ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය චන්ද්‍රිකා විජේරත්න මහත්මිය ද සාක්ෂි දරනු ඇත.

Comments

comments

SHARE