19 න් පහල ක්‍රිකට් ශූරයින්ට අධ්‍යාපන ඇමතිගෙන් හරසර

411
0

එංගලන්තයේදී ටෙස්ට් හා එක්දින ක්‍රිකට් තරගාවලි දෙකම ජයගත් ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයන්ට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා උපහාර තිළිණ ප්‍රදානය කරයි. අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පෙරේදා පැවැති උත්සවයකදී ක්‍රිකට් ක්‍රීඩකයන් ඇගයීම සිදුවූ අතර එහිදී ඇමැතිවරයා පැවැසූවේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව වෙනදාටත් වඩා දියුණු තත්ත්වයකට ගෙන ඒම සදහා රජය විශේෂ අවධානය යොමු කර ඇති බවයි.

කොළඹින් පිටත ග්‍රාමීය ප්‍රදේශවල පාසල්වල ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කිරීම උදෙසා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ වසරේ සිට මුල්‍ය ප්‍රතිපාදන ලබාදෙන බවද ඇමැතිවරයා මෙහිදී පැවැසීය.

“අගමැතිතුමා මා හට දැනුම් දුන්නා පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් ඉදිරියට ගෙන එන වැඩ පිළිවෙළක් සකස් කරන ලෙස. ඒ අනුව ග්‍රාමීය පළාත්වල ක්‍රීඩාව නගා සිටුවීමට අමාත්‍යාංශය විශේෂ වැඩ පිළිවෙළක් සකසා තිබෙනවා.

ක්‍රීඩාව වෙනුවෙන්ම වෙනම උපදේශකවරයෙක් ලෙස විශේෂඥ දැනුමැති සුනිල් ජයවීර මහතා පත් කොට තිබෙනවා. අතිරේක ලේකම්වරයෙක් ඇතුළු විශේෂ කාර්ය මණ්ඩලයක් පාසල් ක්‍රීඩාව නගා සිටුවීම වෙනුවෙන් දැන් කටයුතු කරනවා. මේ නිසා ඉදිරියේදී පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රෙය් නව දැක්මක් සහිත දියුණුවක් අපේක්ෂා කළ හැකියි” ඇමැතිවරයා පැවැසීය.

“19න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙකු ජාතික සංචිතයට ඇතුළත්වී තිබීම සතුටට කරුණක්. අද ක්‍රීඩාව ස්වාධීනව ඉදිරියට යනවා. අපේ කිසිම බලපෑමක් මේ තෝරා ගැනීම්වලට නෑ. ඇමැතිවරයා ලෙස මා දන්නේ නෑ කව්ද කණ්ඩායමට ක්‍රීඩා කරන්නේ කියා. මේ තත්ත්වය මෙයට කලින් තිබුණේ නෑ.

ඉස්සර ඇතැම් පාසල්වලට විශේෂ සැලකිළි තිබුණා. දැන් කව්රුත් එකයි. පසුගිය කාලයේ පාසල් ක්‍රීඩාවේ විනය ආරක්ෂා කරන්න මා තරාතිරම නොබලා කටයුතු කළා. අපට ඕනෑ දක්ෂතා ඇති දරුවන්ට නිසි තැනදී ක්‍රීඩාව ස්වාධීනව ඉදිරියට යනවා දකින්නයි. ඒ සඳහා පසුබිම සැකසීම අපේ යුතුකමයි” කාරියවසම් මහතා පැවැසීය.

වසර 1996දී අර්ජුන ඇතුළු ක්‍රීඩක පිරිස ලෝක කුසලානය දිනා ගත්තා සේම නැවැත ලෝක කිරුළ ශ්‍රී ලංකාවට ගෙන ආ යුතු බවත් ඒ සඳහා පාසල් ක්‍රිකට් ක්‍රීඩාව දියුණුවීම අත්‍යාවශ්‍ය බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

මේ උත්සවය ඇමැතූ අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා උපදේශක සුනිල් ජයවීර මහතා පැවැසූවේ පාසල් ක්‍රීඩාව නගා සිටුවීමට පස් අවුරුදු සැලස්මක් සකසා ඇති බැවින් ඉදිරියේදී විශාල වෙනසක් අපේක්ෂා කළ හැකි බවයි.

“අප සතුව දීර්ඝ කාලීන හා කෙටි කාලීන වැඩ පිළිවෙළක් සතුයි. ග්‍රාමීය ක්‍රීඩාව නැංවීමට අගමැතිතුමාට හා අධ්‍යාපන ඇමැතිතුමාට විශාල උනන්දුවක් තිබෙනවා.

ඒ දැක්ම අනුව අපේ ඉලක්ක සපුරා ගැනීමට හැකිවෙනවා. දිවංගත ගාමිණී දිසානායක ඇමැතිතුමාගේ කාලයේ ශ්‍රී ලංකාවට අයි. සී. සී. වරම් ලබා ගනිද්දී අපේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඉතා දියුණු තත්ත්වයක තිබුණා. එවැනි තත්ත්වයක් නැවැත ඇති කිරීමට අපට පුලුවන්. එය මෙවර පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් පෙන්වා තිබෙනවා” ජයවීර මහතා පැවැසීය.මේ උපහාර උත්සවයට අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අශෝක සේනානී මහතා හා පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරී මණ්ඩලය, කණ්ඩායමේ පුහුණුකරු රෝයි ඩයස් මහතා කණ්ඩායම භාර ප්‍රධානියා නෙල්සන් මෙන්ඩිස් මහතා හා ක්‍රීඩකයන්ගේ මවුපියන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.19න් පහළ එංගලන්ත සංචාරයේදී මහින්ද හලංගොඩ මහතා කළමනාකරු ලෙස හා රවීන්ද්‍ර පුෂ්පකුමාර මහතා පන්දු යැවීමේ පුහුණුකරු ලෙස සංචාරයට එක්වූහ.

Comments

comments

SHARE