කැන්ගරුවෝ දඹුල්ලේ දී ජය පැන් බොති

378
0

ටෙස්ට් තරගාවලියේදී මුහුණ දීමට සිදුවුණු දැවැන්ත අවමානය මකා ගත් ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගන්නට ඊයේ සමත් වුනා.

ඒ දෙරට අතර දඹුල්ලේ පැවති සිව්වන එක්දින තරගය කඩුලු 6කින් ජය ගනිමින්.

ශ්‍රී ලංකාව ඊයේ තරගයට එක්වුනේ වෙනස්කම් තුනක් සමගින්.
යොවුන් ක්‍රීඩක අවිශ්ක ප්‍රනන්දු ඊයේ තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනා ගත්තා.
ඊට අමතරව සචිත් පතිරණ සහ ඇන්ජෙලෝ පෙරේරා ඊයේ තරගයට කැදවා තිබුනා.

ටී.එම්.ඩිල්ශාන් සමුගැනීමෙන් අනතුරුව පැවති පලමු එක්දින තරගය වූ මෙම තරගයේදී ශ්‍රී ලංකා ආරම්භයේද වෙනසක් සිදුව තිබුනා.

ඒ අනුව ඉනිම ආරම්භ කලේ අවිශ්ක ප්‍රනාන්දු සහ ධනංජය ද සිල්වා.
ඔවුන් දෙදෙනාට යහපත් ආරම්භයක් ලබා ගන්නට හැකි වුනේ නැහැ.

මෙම තරගාවලිය පුරාවට ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ භීතිකාව බවට පත්ව සිටිනි මිචෙල් ස්ටාක් යොවුන් ක්‍රීඩක අවිශ්කගේ මංගල එක්දින ඉනිම ලකුණු ලබාගැනීමට පෙර නවතා දැමුවා.

එම කඩා වැටීම තවදුරටත් වර්ධනය වුනේ මුලු ලකුණු සංක්‍යාව 31ක් වෙද්දී ශ්‍රී ලංකා මුල් පෙල පිතිකරුවන් තිදෙනෙක් ක්‍රීඩාගාරයට ගොස් සිටීම නිසයි.

එහිදී කුසල් මෙන්ඩිස් එක් ලකුණකටත් ලකුණු අතර සිටි දිනේෂ් චන්දිමාල් ලකුණු 5කටත් දවා ගන්නට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට හැකිවුනා.

බිද වැටෙමින් තිබුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩගන්නට ධනංජය සමගින් පිටියේ එක්වුනු නායක ඇන්ජෙලෝ මැතිව්ස් පියවර ගත්තා.

සිව්වන කඩුල්ලට ලකුණු 84ක් එක්කරමින් සිටියදී මැතිව්ස්ගේ දකුණු පාදය අබාධයකට ලක්වුණා.
මේ නිසා ඔහුට පිටියෙන් ඉවත්වීමට සිදුවුනේ ශ්‍රී ලංකා කණ්ඩායමට මරු පහරක් එල්ල කරමින්.

මැතිව්ස් පිටියෙන් ඉවත් වීමත් සමග යලි ශ්‍රී ලංකා ඉනිම කඩා වැටුණා.
මැදපෙල පිතිකරුවන් එකා පසු පස එකා දැවී ගියේ ශ්‍රී ලංකා කන්ඩායම තවත්  අසරණ කරමින්.

හුදෙකලා සටනක නිරතවුණු ධනංජය ද සිල්වා සිය මංගල එක්දින අර්ධ ශතකය වාර්තා කලා.
ඔහු දැවී ගියේ ලකුණු 76කට.

වරෙක ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 6කට ලකුණු 134ක් ලෙස දැක් වුනා.

එම අවස්ථාවේදී පිටියේ එක්වුනු ඩ්ල්රුවන් පෙරේරා සහ සච්ත් පතිරණ හත්වන කඩුල්ල සදහා ලකුණු 34ක් එක් කලා.
ඩ්ල්රුවන් ලකුණු 18යි.

ඔහුගේ දැවී යාමෙන් පසු මැතිව්ස් යලි පන්දුවට පහර දීමට පිටියට පිවිසියේ සිය ආබාධයද සහිතවයි.

ඔහු සච්ත් සමගින් එක්ව ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහල දමන්නට ප්‍රබල උත්සහයක නිරත් වුනා.

සචිත් පතිරණ ලකුණු 24කට දැවී ගියා.

මැතිව්ස් ලකුණු 40ක් ලබාගෙන අවසන් පිතිකරුවා ලෙස පිටියෙන් ඉවත්වනවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව පන්දුවාර 50තුල ලකුණු 212ක් ලෙස දැක්වුනා.

ශ්‍රී ලංකා ඉනිම වැනසූ ජෝන් හෙස්ටින්ග් ලකුණු 45කට කඩුලු 6ක් දවා ගත්තේ සිය එක්දින දිවියේ හොදම පන්දු යැවීම සනිටුහන් කරමින්.

පිලිතුරු ඉනිම ආරම්භ කල ඩේවිඩ් වෝනර් සහ ඒරන් ෆින්ච් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කලා.
ඒ පලමු කඩුල්ලට පන්දුවාර 5යි පන්දු 3කදී ලකුණු 74ක් එක් කරමින්.

ෆින්ච් පන්දු 19කදි ලකුණු 55ක් රැස් කලේ හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමගින්.

ෆින්ච් දවාගත් සච්ත් පතිරණ ඩේවිඩ් වෝනර් සහ උස්මාන් කවාජා පිටියෙන් ඉවත් කලේ ශ්‍රී ලංකාව දෙසට තරගය හරවා දෙමින්.
ඒ වනවිට ඔස්ට්‍රේලියානු ලකුණු පුවරුව කඩුලු 3කට ලකුණු 97ක් ලෙස දැක්වුනා.

නමුත් එම පීඩනයෙන් සිය කන්ඩායම ගලවාගත් ජෝර්ජ් බෙයිලි සහ ට්‍රැවිස් හේඩ් සිව්වන කඩුල්ල සදහා ලකුණු 100ක් එක් කරමින් තරගයේ ජයග්‍රහණයට අවශ්‍ය අඩිතාලම දැමුවා.

හේඩ් ලකුණු 40කට දැවී ගියා.

සිය කන්ඩායම ජයග්‍රහණය කරා රැගෙනගිය බෙයිලි නොදැවී ලකුණු 90ක් රැස් කලේ හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමගින්.
ඔහු ඊයේ වාර්තා කලේ සිය 21ක් වන එක්දින අර්ධ ශතකයයි.

පන්දුවාර 31ක් තුල කඩුලු 4ක් පමනක් දැවී ලකුණු 217ක් ලබාගෙන ඔස්ට්‍රේලියාව මෙම තරගය ඉතා පහසුවෙන් ජයගත්තා.

තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත්තේ ජෝන් හෙස්ටින්ග්.

දෙරට අතර අවසන් එක්දින තරගය ලබන ඉරිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

Comments

comments

SHARE