ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම හොංකොං යයි

221
0

ආසියානු රගර් පිටියේ අත්දැකීම් බහුල මහනුවර ක්‍රීඩා සමාජයේ සෙන්ටර් ක්‍රීඩක ධනුෂ්ක රංජන්ට පළමුවරට නායකත්වයේ වගකීම පවරා දෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු සත්සාමාජික රගර් තරගමාලාවේ පළමු අදියරේ තරගාවලියට සහභාගිවීමට හොංකොං රාජ්‍යය බලා පිටත්ව ගියේය.

ජාතික පිලේ හිටපු නායකයන් වන ෆාසිල් මරිජා සහ සුදර්ශන මුතුතන්ත්‍රීගේ ආබාධවලට ලක්විම මත මෙවර තරගමාලාවට ක්‍රීඩා නොකරන අතර 24 හැවිරිදි ධනුෂ්ක රංජන් යටතේ හොංකොං රාජ්‍යය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා සත් සාමාජික කණ්ඩායමට සාලිය හඳපාන්ගොඩ, දිනූෂ චතුරංග සහ හිරන්ත පෙරේරා යළි එක්වී සිටිති.

මීට අමතරව පසුගියදා අවුරුදු 20න් පහළ ආසියානු සත් සාමාජික රගර් කිරුළ අත්පත් කරගනිමින් ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක් ගෙන දුන් කණ්ඩායමේ නායක කෙවින් ඩික්සන් සහ උපනායක ඕමල්ක ගුණරත්න ද කණ්ඩායමට ඇතුලත්වූහ.

ආසියානු සත් සාමාජික රගර් තරගමාලාවේ පළමු අදියර ලබන සැප්තැම්බර් මස 2 සහ 3 දෙදින හොංකොං නුවර

පැවැත්වෙන අතර දෙවැනි අදියර සැප්තැම්බර් මස 24 සහ 25 දෙදින දකුණු කොරියාවේදී පැවැත්වෙයි. අදියර තුනකින් සමන්විත මේ තරගමාලාවේ අවසන් අදියර ඔක්තෝබර් මස 15 සහ 16 දෙදින කොළඹ දී පැවැත්වීමට නියමිතය.

පසුගිය වසරේ දී ශ්‍රී ලංකාව ආසියානු තරග බිමේ සිවුවැනි ස්ථානය ලබාගත් අතර ජපානයට පළමු ස්ථානයත්, හොංකොං පිලට දෙවැනි ස්ථානයත් හිමිවූ අතර දකුණු කොරියාව තුන්වැනි තැනට පත්විය.

මේ අතර පිරිමි තරගාවලියට සමගාමීව පැවැත්වෙන ආසියානු සත් සාමාජික කාන්තා රගර් තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා පිලේ නායිකාව ලෙස රන්දිකා කුමුදුමලී නම් කොට තිබේ. මීට පෙර ආසියානු කාන්තා තරග බිමේ අත්දැකිම් ලබා ඇති ශ්‍රී ලංකා නාවික හමුදා පිල නියෝජනය කරන රන්දිකා ජාතික පිලේ නායිකාව ලෙස කටයුතු කරනු ලබන්නේ ද පළමුවරටය.

මැට් ටර්නර්ගේ පුහුණුකාරීත්වය යටතේ තරග බිමට එක්වන ශ්‍රී ලංකා සත් සාමාජික පිලේ සහය පුහුණුකරු ලෙස රජීව් පෙරේරා කටයුතු කරන අතර කළමනාකරු ලෙස රොහාන් චින්තක පත් කොට තිබේ. සුදත් සම්පත්ගේ පුහුණුකාරිත්වයෙන් තරග බිමට එක්වන ශ්‍රී ලංකා කාන්තා සත් සාමාජික රගර් පිලේ කළමනාකාරිනී ලෙස වෛද්‍ය පියුමිකා තිලකවර්ධන කටයුතු කරන්නීය.

ශ්‍රී ලංකා සත් සාමාජික පිරිමි කණ්ඩායම – ධනුෂ්ක රංජන් (නායක), දුලාජ් පෙරේරා, දනුෂ දයාන්, දිනූෂ චතුරංග, ජේසන් දිසානායක, කවිඳු පෙරේරා, හිරන්ත පෙරේරා, සාලිය හඳපාන්ගොඩ, සේෂාන් මොහොමඩ්, තරිඳු රත්වත්ත, කෙවින් ඩික්සන්, ඕමල්ක ගුණරත්න.

ශ්‍රී ලංකා සත් සාමාජික කාන්තා කණ්ඩායම – රන්දිකා කුමුදුමලී (නායිකා), සන්දිකා හේමකුමාරී, සංජීවනී විජේතිලක, දසුනි සිල්වා, නිරංජලා වික්‍රමසිංහ, අයේෂා පෙරේරා, නදිකා මුණසිංහ, පී.දුලානී, තිළිණි විජේකෝන්, අනූෂා අත්තනායක, අයේෂා කළුආරච්චි, චරිනි ලියනගේ.

Comments

comments

SHARE