මිනී වලවල් හාරනවා කියල චන්න කලේ බොරුවක් – පාපන්දු සම්මේලනය

1328
0

කනත්තක සේවය කරන බව පවසා පුවත් මැවූ පාපන්දු ක්‍රීඩක ඊ. බී. චන්න ක්‍රීඩාවට බලවත් නිග්‍රහයක් කළ පුද්ගලයෙක් බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පවසනවා.

ඔහු වසර ගණනාවක් පාපන්දු ක්‍රීඩාවෙන් ලක්ෂ ගණන් මුදල් උපයා නිසි කළමනාකරණයක් නොමැතිවීමෙන් අසාර්ථකත්වයට පත්වූ පුද්ගලයෙක් බවයි පාපන්දු සම්මේලනයේ නිලධාරීන් පවසන්නේ.

එවන් අයෙකු සමාජයේ අනුකම්පාව දිනා තව තවත් මුදල් එක් රැස්කර ගැනීමේ අරමුණින් කරන ප්‍රකාශ පාපන්දු ක්‍රීඩාවට පමණක් නොව රටේ සමස්ත ක්‍රීඩාවටම සිදුකළ අපහාසයක් බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති හා මූල්‍ය කමිටු සභාපති රංජිත් රුද්‍රිගූ මහතා පවසනවා.

ඒ මහතා මෙසේ පැවැසූවේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීයි.
පාපන්දු සම්මේලන සභාපති අනුර ද සිල්වා, ලේකම් බාලේන්ද්‍ර ඇනිතනී යන මහත්වරු හා පාපන්දු විධායක කමිටු සාමාජිකයන් කිහිපදෙනකු, හිටපු පාපන්දු නායකයන් සහභාගීවී සිටි මේ මාධ්‍ය හමුව ඊ. බී. චන්න පසුගියදා සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳ කරුණු පැහැදිලි කිරීම වෙනුවෙන් කැඳවා තිබුනා.

මෙහිදී අදහස් දැක්වූ රුද්‍රිගූ මහතා පැවැසූවේ රටට සේවය කළ ජාතික ක්‍රීඩකයන් සියලු දෙනාට ඊ. බී. චන්න අපහාසයක් සිදුකර ඇති බවයි .

“ චන්න කියන්නේ ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාවේ මුදලට තරග පාවාදුන් ක්‍රීඩකයෙක්. ඔහු 2009දී මුදලට තරග පාවාදී 2010දී තරග තහනමකට ලක් වුණා. 2012 හිටපු පාපන්දු සභාපතිවරයා ඔහුට සමාවදී නැවැත ක්‍රීඩාවට යොමු කොට මැලේසියාව සමග තරගයේ නායකත්වයට පත් කළා. එය වැරදි තීරණයක්. ඒ තරගය පමණයි ඔහු නායකත්වය දැරූ එකම තරගය. ඉන් පසුව ජාතික පිලේ ක්‍රීඩකයෙක් හැටියට ඔහු කටයුතු කර නෑ. ඔහු සමාජයට කියනවා තරග 128ක් ක්‍රීඩා කළා කියා. ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ වසර 52කදී ජාත්‍යන්තර තරග තිබුණේ 200ක් පමණයි. වසරකට පාපන්දු තරග 4ක් පමණයි ශ්‍රී ලංකාවට ලැබී තියෙන්නේ.

ඔහු ක්‍රීඩා කර ඇත්තේ උපරිම තරග 40කට අඩු සංඛ්‍යාවක්. පදක්කම් ගැන කතා කරනවා. අපි ඉතිහාසයේ රන් පදක්කම් දිනා ගත්තේ 1995 දී දකුණු ආසියානු හා මාලදිවයින නිදහස් කුසලානයේදී පමණයි. ඒ නිසා පදක්කම් කතාවත් චන්න ගෙතූ බොරුවක්” රුද්‍රිගූ මහතා පැවැසීය.

“ඔහුට යම් ප්‍රශ්නයක් තිබුණානම් පාපන්දු සම්මේලනයට කියන්න තිබුණා. දැන් සිටින පාපන්දු සභාපති ජාතික කණ්ඩායමේ හිටපු නායකයෙක්. පාපන්දු ලේකම් හොඳ පුහුණුකරුවෙක්. මේ අයට ක්‍රීඩකයන්ගේ ප්‍රශ්න පිළිබඳ හොඳ වැටහීමක් තියෙනවා. එවැනි තත්ත්වයක් තුළ චන්න මුලින්ම ඇමතිය යුත්තේ පාපන්දු සම්මේලන නිලධාරීන්. ඔහුට ඇති ප්‍රශ්න හා අපහසුතා සඳහන් කොට යමක් සිදු නොවුණා නම් පමණක් මාධ්‍යයට කියන්න තිබුණා. ඔහු සියලු දෙනාට අපහාස වන ලෙස කටයුතු කිරීම ගැන කනගාටු වෙනවා” රුද්‍රිගූ මහතා පැවැසීය.

“ඔහු තවමත් ක්‍රීඩකයෙක් ලෙස කළුතර බ්ලූස්ටාර් පිලට ක්‍රීඩා කරනවා. දැන් ඔහු බ්ලූස්ටාර් පිලෙන් වසරකට රුපියල් ලක්ෂයක් හා මාසයකට රුපියල් 22500ක් හිමිවන කොන්ත්‍රාත්තුවකට ක්‍රීඩා කරමින් සිටිනවා. ඔහු එයට පෙර නිගම්බු යූත් කණ්ඩායමට ක්‍රීඩා කොට මා විසින්ම රුපියල් ලක්ෂ 10ක් පමණ ගෙවා තිබෙනවා.

එයට අමතරව වරින්වර ක්‍රීඩා සමාජ ගණනාවක මුදලට ක්‍රීඩා කළ කෙනෙක්. අපට ඔහුගේ ජීවිතය පාලනය කරන්න බෑ. අපට කිව හැක්කේ ක්‍රීඩාව විනයවත්කරන ලෙස පමණයි. හිටපු නායකයන් අද හොඳ ජීවිත ගෙවනවා. ඔවුන් අභිමානයෙන් ජීවත් වෙනවා. සම්පත් පෙරේරා, ඩඩ්ලි ස්ටැන්වෝල්, මොහොමඩ් අමුනුල්ලා රුමී පකීර් අලී වැනි හිටපු නායකයන්ගේ ජීවිත දිහා බලන්න. ඔවුන් පාපන්දු ක්‍රීඩාවෙන් හොඳ නමක් දිනා එයින්ම හොඳ ජීවිත ගත කරනවා” හිටපු සභාපතිවරයා පැවැසීය.

චන්න පාපන්දු ක්‍රීඩාවට කළ හානිය පිළිබඳ සමාව ගත යුතුව ඇතැයි පාපාන්දු සම්මේලන නිලධාරීහු මෙහිදී සදහන් කලා.

Comments

comments

SHARE