මගේ බලාපොරොත්තුව ඩිල්ශාන්ට ගෞරවාන්විත සමුගැනීමක් ලබා දීමයි – චන්දිමාල්

1244
0
Sri Lanka cricket player Dinesh Chandimal

ඔස්ට්‍රේලියානු  ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ වඩාත් උද්වේගකර වූත් වේගවත් වූ තරගාවලිය ලෙසින් සැලකෙන තරග 2 කින් සමන්විත T20  ක්‍රිකට්‌ තරගාවලියේ පළමු තරගය අද පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී ප.ව. 7 ට ආරම්භවනවා.

ටෙස්‌ට්‌ තරගාවලිය ශ්‍රී ලංකාවත්, එක්‌දින තරගාවලිය ඔස්‌ට්‍රෙලියාවත් හිමිකරගෙන සිටීම මත ගෞරවාන්විතව තරගාවලිය අවසන් කර ගැනීම උදෙසා දෙපිලම අදින් ඇරඹෙන T20 තරගාවලිය පිළිබඳව වැඩි අවධානය යොමු කර සිටි.

මෙහිදී ජගත් ක්‍රිකට්‌ කවුන්සිල T20 ශ්‍රේණිගත කිරීම් අනුව සත්කාරක ශ්‍රී ලංකාව 8 වැනි ස්‌ථානයේ සිටද ඔස්ට්‍රේලියාව  6 වැනි ස්‌ථානයේ සිටද අද තරගයට අවතීර්ණ වනවා.

තරගාවලිය පිලිබද  ඊයේ  පැවැති මාධ්‍ය හමුවේදී අදහස්‌ දැක්‌වූ දිනේෂ් චන්දිමාල් සඳහන් කර සිටියේ පළමු තරගයම ජය ගනිමින් ඔස්‌ට්‍රෙලියානුවන්ට පීඩනය යොමු කිරීම තමා ඇතුළු කණ්‌ඩායමේ බලාපොරොත්තුව වන බවයි.

එක්‌දින තරගාවලිය අතරතුරදී ආබාධයකට ලක්‌වීම නිසා T20 තරගාවලිය ඇන්ජලෝ මැතිව්ස්‌ට අහිමිවන අතර කණ්‌ඩායම මෙහෙයවීමේ වගකීම දිනේෂ් චන්දිමාල්ට පැවරී තිබෙනවා.
අද තරගය සඳහා සැලැස්‌මවල් කීපයක්‌ම කණ්‌ඩායම සතු වන බව පවසන වැඩ බලන නායකයා තණතීරුවට සරිලන අයුරින් සමබර කණ්‌ඩායම තෝරා ගැනීම එහි පළමු රාජකාරිය වන බව සඳහන් කර සිටිනවා.

අද තරගය ක්‍රියාත්මක පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ ඔස්‌ට්‍රෙලියාව අවස්‌ථා 2 කදී මුණ ගැසී තිබෙන අතර ඒ දෙවතාවේදීම ජය අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව සිටි. එමෙන්ම දෙරට අතර T20 ඉතිහාසය ගෙන බැලීමේදීද ඔස්‌ට්‍රෙලියාව තරග 2 ක ජය හිමිකරගන්නා අතරතුරදී ශ්‍රී ලංකාව තරග 6 ක්‌ ජය ගනිමින් වැඩි ගෞරව අත්කරගෙන සිටිනවා.

“අපිට මේ තරගයේදී සැලැස්‌මවල් කීපයක්‌ තියෙනවා. ලැබිලා තියෙන කණ්‌ඩායමත් එක්‌ක තණතීරුවට සරිලන අයුරින් හරි ක්‍රීඩකයන් 11 දෙනා තෝරා ගැනීම තමයි පළමු රාජකාරිය විදියට පැවරිලා තියෙන්නේ. බලාපොරොත්තු වෙනවා මේ තරගය ජය ගනිමින් ඔස්‌ට්‍රෙලියාව පැත්තට පීඩනය යොමු කරන්න” යනුවෙන් චන්දිමාල් පවසයි.

මෙම තරගය සඳහා වන 14 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා කණ්‌ඩායම ඊයේ දහවල් කාලයේදී ප්‍රකාශයට පත් කළ අතර එයට එක්‌දින කණ්‌ඩායමේ ස්‌ථාන හිමි නොවූ සචිත්‍ර සේනානායක, චාමර කපුදෙර සහ කසුන් රජිත යන ක්‍රීඩකයන් තිදෙනා ඇතුළත්ව සිටිනවා.

“එක්‌දින තරගාවලියේදි අපිට අත්දැකීම් තියෙන ක්‍රීඩකයන්ගේ අඩුවක්‌ තිබුණා. නමුත් මේ සංචිතයේ ඩිල්ෂාන්, සචිත්‍ර වගේ අත්දැකීම් බහුල ක්‍රීඩකයන් ඉන්නවා. ගොඩක්‌ සතුටුයි ලැබිලා තියෙන සංචිතය ගැන” යෑයි චන්දිමාල් ඊයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසුවා.

පස්‌වැනි තරගයට සහභාගිවූ ක්‍රීඩකයන් සියල්ල ඊයේ දිනයේදී විවේක ගනු ලැබූ අතර එම තරගයට ක්‍රීඩා නොකළ සහ අලුතින් කණ්‌ඩායමට එක්‌වී සිටින ක්‍රීඩකයන් 6 දෙනා පමණක්‌ සිය පුහුණුවීම්වල නිරත වී සිටින ආකාරය අපට දක්නට ලැබුනා.

අද තරගයේ ඇති සුවිශේෂීතාව වන්නේ ආරම්භක පිතිකරු ටී. එම්. ඩිල්ෂාන් පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී සහභාගිවනු ලබන අවසන් ජාත්‍යන්තර තරගය මෙම තරගය බවට පත්වීමයි.

“මං මුලින්ම කියන්න ඕන මගේ එක්‌දින සහ ටෙස්‌ට්‌ දිවියේ පළමු නායකයා වුණේ ඩිල්ෂාන්. විශේෂයෙන්ම ඩිල්ෂාන් වගේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක්‌ ක්‍රීඩා කරනු ලබන අන්තිම තරග 2 දී නායකයා විදියට ඔහුව මෙහෙයවන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. අපි ඔහු වෙනුවෙන් මේ තරග දෙක ජයග්‍රහණය කරලා ඔහුට හොඳ නික්‌ම යැමක්‌ ලබා දෙන්න තමයි බලපොරොත්තු වෙන්නේ” යෑයි ඩිල්ෂාන් පිළිබඳව චන්දිමාල් එසේ පවසා සිටී.

ශ්‍රී ලංකාව වෙනුවෙන් T20 තරග 78 ක්‌ නියෝජනය කර ඇති ඩිල්ෂාන් ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 28.98 ක්‌ රඳවා තබා ගනිමින් මුලු ලකුණු 1884 ක්‌ රැස්‌කරගෙන සිටියි. එයට එක්‌ ශතකයක්‌ සහ අර්ධ ශතක 13 ක්‌ ඇතුළත් වන අතර පන්දු යෑවීමේද කඩුලු 7 ක්‌ බිඳ හෙළීමට සමත්ව සිටිනවා.

පල්ලකැලේ තණතීරුව වැඩි වශයෙන් වේග පන්දු යවන්නන්ට දායකත්වයක්‌ සැපයූවත් ක්‍රීඩා කරන සංයුතිය පිළිබඳව කරන ලද විමසීමේදී “සමබරතාවය ගැන අපි නිතරම හිතන්න ඕන. සමහර විට අපි වේග පන්දු යවන්නන් දෙන්නෙක්‌ සමග ක්‍රීඩා කරන්න පුලුවන්. සමහර විට එක්‌ කෙනෙක්‌ වෙන්නත් පුලුවන්. අපි බලමු තණතිල්ල සහ කාලගුණයත් එක්‌ක මොකද්ද අපිට යොදා ගන්න පුලුවන් හොඳම සංයුතිය කියලා”යි චන්දිමාල් මාධ්‍ය හමුවේ දී පැවසුවා.

එක්‌දින තරගාවලියේදී ප්‍රහාරාත්මක පිතිකරු කුසල් පෙරේරා, මැද පෙළ පිතිකරුවකු ලෙස යොදා ගනු ලැබුවද ඔහු මෙම තරගයේදී ඩිල්ෂාන් සමග ඉනිම ආරම්භ කරනු ඇත. “අපිට ඕන වුණා කුසල් මැද පෙළ පිතිකරුවකු විදියට පාවිච්චි කරලා ලකුණු ලබාගන්න පුලුවන්ද කියලා බලන්න. ඉතිං එකක ඔහු දක්‌ෂතා අතරට ආවා. නමුත් අන්තිම තරගයේදී නම් ඔහු මැද පෙළින් ක්‍රීඩා කරේ මැතිව්ස්‌ ආබාධයට ලක්‌ වුණ නිසා. කොහොම වුණත් හෙට ඩිල්ෂාන් එක්‌ක කුසල් ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කරනවා”යි චන්දිමාල් සඳහන් කරයි.

ප්‍රතිවාදී ඔස්‌ට්‍රෙලියානු  කඳවුර දෙස අවධානය යොමු කිරීමේදී ආරම්භක පිතිකරු ඒරන් ෆින්ච් සහ ක්‍රිස්‌ ලින් දෙදෙනාම ආබාධවලට ලක්‌වී සිටීම නිසා අද තරගයට ක්‍රීඩා නොකරන අතර ඒ සඳහා එක්‌දින තරගාවලියේ වීරයා වූ ජොඡ් බෙයිලි සහ මැතිව් වේඩ් කණ්‌ඩායමට එක්‌වී සිටියි.

එමෙන්ම T20 විශේෂඥ ක්‍රීඩකයකු ලෙස සැලකෙන ග්ලෙන් මැක්‌ස්‌වෙල් ද ඔස්‌ට්‍රෙලියානු පිලට එක්‌වී තිබීම ඔවුන්ගේ ශක්‌තිය වැඩි කරවන්නක්‌ බවට පත්ව තිබේ.

ශ්‍රී ලංකා කණ්‌ඩායම/ කුසල් පෙරේරා, ටී. එම්. ඩිල්ෂාන්, දිනේෂ් චන්දිමාල් (නායක), ධනංජය ද සිල්වා, චාමර කපුදෙර, මිලින්ද සිරිවර්ධන, කුෂල් මෙන්ඩිස්‌, සික්‌කුගේ ප්‍රසන්න, සචිත්‍ර සේනානායක, සුරංග ලක්‌මාල්, තිසර පෙරේරා, සචිත් පතිරණ, කසුන් රජිත, දසුන් ශානක.

ඔස්ට්‍රේලියානු කණ්‌ඩායම/ ඩේවිඩ් වෝනර්(නායක), ජෝඡ් බෙයිලි, ස්‌කොට්‌ බෝලන්ඩ්, ඡේම්ස්‌ ෆොල්ක්‌නර්, ජෝන් හේස්‌ටිංග්ස්‌, ට්‍රෙවිස්‌ හෙඩ්, මොයිසස්‌ හෙන්රිකස්‌, උස්‌මාන් කවාජා, ග්ලෙන් මැක්‌ස්‌වෙල්, පීටර් නෙවිල්, මිචෙල් ස්‌ටාර්ක්‌, මැතිව් වේඩ්, ඇඩම් සම්පා

Comments

comments

SHARE