වෙඩි පහරට මිලින නොවුණු ඔලිම්පික් පැතුම

279
0

තව නොබෝදිනකින්  එළබෙන දරුණු සීත කාල සමය පිළිගන්නට දකුණු කොරියානු වැසියන් ලහි ලහියේ සුදානම් වූ කාල සමය එයයි. 2014 ඔක්තෝබරයේ ආසියානු පැරා ක්‍රීඩා උළෙල වෙනුවෙන් ඉන්චියෝන් නගරය සත්කාරකත්වය ලබාදෙද්දී ශ්‍රී ලංකා පැරා කණ්ඩායමද බලාපොරොත්තු පොදි බැද ගනිමින් ඉන්චියෝන් නුවර කදවුරු බදින්නට වුණා. ඊට සති කිහිපයකට පෙරාතුව ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් ගිය ශ්‍රී ලංකා නඩය වෙනුවෙන් ක්‍රිකට් කණ්ඩායම පමණක් පදක්කමක් දිනාදුන් බැවින් ශ්‍රී ලංකා ගෞරවය පිලිබදව වගකීමක්ද පැරා කණ්ඩායමට නොනිළ වශයෙන් බාරවී තිබුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ බහුතරය යුධ හමුදාව නියෝජනය කළ බැවින් 2014 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ පළමු දිනයේ පටන්ම පදක්කම් දඩයම අරුමයක් නොවීය. ලෝකඩ සහ රිදී පදක්කම් එකින් එක ලබමින් ඉදිරියට ගිය ශ්‍රී ලංකා කණඩායම වෙනුවෙන් රන් පදක්කමක් පිළිබද බලාපොරොත්තු කණ්ඩායම් ප්‍රධානීන්ට ඉහලින්ම විය.

T42 මීටර 200 ඉසව්වේ අවසන් තරගයට සියල්ල සුදානම්ය. ශ්‍රී ලංකා බලාපොරොත්තු වෙනුවෙන් අනිල් ප්‍රසන්න ජයලත් සහ උපුල් ඉන්දික පෙළ ගැසෙද්දී ජපන් ක්‍රීඩකයා වෙනුවෙන් ඇති පදමට ඔල්වරසන් නැගෙන්නට විය. ජාතික රූපවාහිනිය වෙනුවෙන් ඉන්චියෝන් නුවර සිට තොරතුරු රැස්කරන අතර වාරයේ ඊට පෙරාතුව මේ ජපන් ක්‍රීඩකයා පිලිබදව අපි විමසිලිමත් වීමු. ඔහු සැබවින්ම දක්ෂයෙකි. ඔහුගේ කෘතීම පාද වටිනාකමින් ඉහල අතර තරගකාරී ධාවනයකදී වැඩි වාසියක් අත්කරදෙන බවනම් සහතිකය. කරුණු කසේ උවත් අනිල්ගේ බැල්ම තියුණුය.ප්‍රේක්ෂකාගාරයේ සිටි මේජර් ජනරාල් ජගත් ඩයස් අපට ඉගි කලේ තප්පරයක් අත් නොහැර සියල්ල පටිගත කිරීම වැදගත් බවයි.

සියල්ල නිසොල්මන් වූ නිමේෂයේ ආරම්භක වෙඩිල්ල පත්තු වනවාත් සමගම පිරිසෙන් වැඩිවූ ජපන් කණ්ඩායම ඉන්චියෝන් පිටිය දෙදරවන්නට ඔල්වරසන් නගන්නට විය. නමුත් පළමු 100m පසු කරනවාත් සමගම අනිල් ජපන් ක්‍රීඩකයා සමග එක පෙලට විය. තම උපන් බිමේ ඒකීයත්වය වෙනුවෙන් තුරුණු රුධිරය පමණක් නොව තම පාදයද පිදු අනිල් අවසන් 50 m තුල ජපන් කණ්ඩායම නිහඩ කලේ කිසිවෙකුට අදහාගත නොහැකි ලෙසය. ජය රේඛාව රනින් පසු කළ අනිල් ඉන්චියෝන් ධාවන පථයේ සතුටින් ඇද වැටෙද්දී ජපන් ක්‍රීඩකයා පසු පසින් සිටි උපුල් ඉන්දික ලෝකඩ පදක්කම් දිනන්නේ ආසියානු පැරා ඉතිහාසයේ ශ්‍රී ලංකා මතකයේ දවසක් බවට එදින පත් කරමිනි.

රන් පදක්කම් දිනු අනිල් සමගින් සම්මුක වන්නට මටද ඉවසිල්ලක් නොවීය. තම වීරත්වය නිහතමානීව විදි අනිල් එම උළෙල ආවරණය කළ එකම දේශීය රූපවාහිනී නාලිකාව වූ අප හමුවේ පැවසුවේ මේ තම අවසානය නොවන බවත් ලෝකය දිනන ගමනේ යෝධ ආරම්භයක් තැබූ බවත්ය. පසුව ජපන් මාධ්‍ය කණඩායමත් අනිල් වට කරගත්තේ මේ පෙරළිකාර මිනිසා කවුරුන්දැයි විමසන්නටය.

පදක්කම් ලබන්නට ජය පුවරුවට එක්වූ අනිල් සහ උපුල් වෙනුවෙන් අත්පොලසන් දෙන්නට පමණක් නොව හුරේ දමන්නටත් ඇති තරමට කණඩායම් සගයින් එකතු වන්නේ එකම සිතින්ය. සුවිසල් ඉන්චියෝන් ක්‍රීඩා පිටිය සිසාරා “ශ්‍රී ලංකා මාතා” ලෙසින් ජාතික ගීය දෝංකාර දෙන්නට විය. උපන් රටින් සැතපුම්  දහස් ගණන ඈතින්  සීතල රජකරවූ ඒ මොහොතේ සිංහ ධජය ඉහලට එසවෙද්දී රත්න දීපයේ අභිමානය   හිතින් විදි මමද ඇතුළුව ලාංකිකයන් සියල්ල නෙතට නැගුනු කදුළු බිදු සගවගත්තාට සැක නැත.

අම්පාර වැරනකටගොඩ මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හමාර කළ අනිල් ප්‍රසන්න ජයලත් 2009 දී වෙඩි පහරකට ලක් වන්නේ රට පෙරට තබා තම කාරිය අකුරට කළ බැවිනි. නමුත් හුදකලාවන්නට ගිය තම දෙපයට යලි පණ දුන් අනිල් පැරා මළල ක්‍රීඩා බිම ජයකෙහෙළි නංවන්නේ නොහැක්කක් නොමැත යන්න යලි සපථ කරමිනි. ආසියානු පැරා රන් පදක්කමෙන් ලද වීර්ය තව දුරටත් මුවහත් කළ අනිල් කටාර් ලෝක ශුරතා පැරා බිම ජය ගත්තේ රියෝ ඔලිම්පික් බලාපොරොත්තු සමගිනි. මෙවර පැරා ඔලිම්පික් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙසින් සිංහ ධජය රැගෙන පෙරමුණේ යන අනිල් වෙත සුවහසක් නෙත් යොමුවී ඇත.

මේ වන විටත් තම කාණ්ඩයේ ලෝක ශ්‍රේණි ගත වීම් අනුව අනිල් සිව්වෙන්නාය. ඔලිම්පික් පදක්කමක බලාපොරොත්තු අත පොවන මානයේය.1948 ඩන්කන් වයිට්,  2000 සුසන්තිකා සේම 2012 ලන්ඩන් පැරා ඔලිම්පික් පදක්කම් දිනු ප්‍රදීප් සංජයද සමගින් ඉතිහාසයේම අප දිනන්නේ ඔලිම්පික් පදක්කම් තුනක් පමණි. එයට පැරා ලෙස අඩු ලන්සුවක් නැත. වටිනාකම ඔලිම්පික් පදක්කමක් ලෙස එලෙසමය.  වෙඩි පහරින් සලිත නොවූ මේ ප්‍රසන්න තරුණයා රියෝ පැරා ජය – ලත් වනවිට ඔල්වරසන් දෙන්නට අපි පෙළ ගැසෙමු.

-මංජුල ලන්දෙකුඹුර –

Comments

comments

SHARE