කැන්ගරුවන් පල්ලෙකැලේදී ශ්‍රී ලංකාවට රිදෙන්න ගහයි

331
0

හතරේ පහර 25ක් හා හයේ පහර 14ක් සමග ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් තරග බිමේ කණ්ඩායමක් රැස් කළ වැඩිම මුළු ලකුණු සංඛ්‍යාව වන කඩුලු 3කට 263ක් රැස් කළ ඔස්ට්‍රේලියාව පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඊයේ පැවැති පළමු විස්සයි20 ක්‍රිකට් තරගය ලකුණු 85කින් ජයග්‍රහණය කළේය.

ඒ අනුව ඊයේ දිනයේදී බිද වැටුනේ 2006 වසරේදී ශ්‍රී ලංකා කන්ඩායම කෙන්යාවට එරෙහිව පන්දුවාර 20තුල කඩුලු 6කට ලකුණු 260ක් ලබාගෙන බිහිකර තිබූ වාර්තාවයි.

ශ්‍රී ලංකා ඉනිම කඩුලු 9 යි ලකුණු 178කට සීමා වූ අතර මෙය ශ්‍රී ලංකාව ජාත්‍යන්තර විස්සයි20 තරග බිමේ ලැබූ විශාලතම පරාජය විය.

ප්‍රහාරාත්ම පිතිහරඹයක නියැළුනු ආරම්භක පිතිකරු ග්ලෙන් මැක්ස්වල් පන්දු 65කින් නොදැවී ලකුණු 145ක් ලබා ගත් අතර ඔහුගේ ඒ දර්ශනීය ඉනිම හතරේ පහර 14ක් හා හයේ පහර 9කින් දීප්තිමත් වී තිබිණි. ඔහු විස්සයි20 ක්‍රීඩාවේ දෙවැනියට වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවා බවට පත්විය.

තිලකරත්න ඩිල්ෂාන් ට පල්ලෙකැලේ ක්‍රිකට් තරග බිමේ ඔහුගේ අවසාන ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේදී ලබා ගත හැකිවූයේ ලකුණු 4ක් පමණි. මුහුණ දුන්නේ පන්දු 3කට පමණකි. මිචල් ස්ටාක් එවූ පන්දුව ඩිල්ෂාන්ගේ පිත්ත පරදවා මැද ඉන්නේ ගැටීමත් සමග ඔහු නරඹන්නන්ට ආචාර කරමින් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයෙන් අවසාන වතාවට නික්ම ගියේය.

ලකුණු හඹා යාමේදී පළමු ඕවර පහ අවසන් වීමටත් පෙර ශ්‍රී ලංකා මුල් පිතිකරුවන් තිදෙනා ආපසු ක්‍රීඩාගාරයට ගොස් සිටියහ. ඩිල්ෂාන් දැවී යාමෙන් පසුව දෙවැනි ඕවරයේදී කුසල් ජනිත් පෙරේරා, මිචල් ස්ටාක් වෙත උඩ පන්දුවක් දෙමින් ලකුණු 4කට දැවී ගියේය. මුළු ලකුණු 15දී එම කඩුල්ල ලබා ගත්තේ ස්කොට් බොලන්ඩ් ය. ඉන්පසුව පස්වැනි ඕවරයේ ජේම්ස් ෆෝල්ක්නර්ගේ පන්දුවට අනුවණ පහරක් එල්ල කිරීමට ගත් උත්සාහයේදී පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් සිය උපන්දිනය සමරමින් සිටි ධනංජය ද සිල්වා ලකුණු 12කට දැවී ගියේය.

නායක දිනේෂ් චන්දිමාල් හා කුසල් මෙන්ඩිස් සිවුවැනි කඩුල්ලට එක්ව පන්දු 21කින් ලකුණු 31ක් රැස් කරමින් සිටියදී මොයිසස් හෙන්රිකස්ගේ පන්දුවට ‘ඩීප් මිඩ් විකට්’ ස්ථානයේ පන්දු රකිමින් සිටි මැක්ස්වල් වෙත උඩ පන්දුවක් ලබා දෙමින් මෙන්ඩිස් අට වැනි ඕවරයේ මුළු ලකුණු 76දී දැවී ගියේය. හතරේ පහර හා හයේ පහර 2 බැගින් එල්ල කළ මෙන්ඩිස් පන්දු 13කින් ලකුණු 22ක් ලබා ගත්තේය.

තිසර පෙරේරා ‘ෂෝට් තර්ඩ් මෑන්’හි බොලන්ඩ් වෙත උඩ පන්දුවක් දෙමින් ඉනිමේ පස්වැනි කඩුල්ල ලෙස ඇඩම් සම්පා හමුවේ ලකුණු 7කට දැවී ගියේය.

ඉන් අනතුරුව දැවී ගියේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඊයේ වැඩිම ලකුණු ලබා ගත් දිනේෂ් චන්දිමාල් ය. පන්දු 43කට මුහුණ දුන් ශ්‍රී ලංකා නායකයා හතරේ පහර 6ක් හා හයේ පහරක් සමග ලකුණු 58ක් රැස්කර ගෙන බොලන්ඩ්ගේ පන්දුවට හෙන්රිකස් අතට උඩ පන්දුවක් දෙමින් 16 වැනි ඕවරයේ මුළු ලකුණු 138දී දැවී ගියේය.

සචිත් පතිරණ ලබා ගත්තේ ලකුණු 2කි. බොලන්ඩ්ගේ පන්දුවට ‘කවර්’ ස්ථානයේ ට්‍රැවිස් හෙඩ් ට උඩ පන්දුවක් දෙමින් ඔහු 16 වැනි ඕවරයේ අවසාන පන්දුවට දැවී ගියේය.

චාමර කපු‍ගෙදර හා සචිත්‍ර සේනානායක මුළු ලකුණු සංඛ්‍යාව 142 සිට 174 දක්වා ගෙන එමින් සිටියදී කපුගෙදර, ස්ටාක්ගේ පන්දුවට ‘පොයින්ට්’හි ජෝජ් බේලි අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 43කට දැවී ගියේය. පන්දු 25කට මුහුණ දුන් කපුගෙදර හතරේ හා හයේ පහර 3 බැගින් එල්ල කළේය.

සුරංග ලක්මාල් (1) දහනව වැනි ඕවරයේ ස්ටාක්ගේ අවසන් පන්දුවට දුන් උඩ පන්දුව ස්ටාක් ම ඉදිරියට දිව විත් අල්ලා ගත්තේය. ඒ, මුළු ලකුණු 177දීය. ඊළඟ අවසාන ඕවරයේදී ශ්‍රී ලංකා ලකුණු පුවරුවට තවත් එකතු වූයේ එක ලකුණක් පමණි.

ශ්‍රී ලංකා ඉනිම වනසු ස්ටාක් සහ බොලන්ඩ් කඩුලු 3 බැගින් දවා ගත්තා.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව තරගයේ පළමුව පන්දු යැවීමට තීරණය කළේය. සිය තෙවැනි ජාත්‍යන්තර විස්සයි20 තරගයට ක්‍රීඩා කළ වේග පන්දු යවන කසුන් රාජිත යැවූ තරගයේ තෙවැනි ඕවරයේදී පිට පිට හතරේ පහර 4ක් සමග ලකුණු 19ක් ලබා ගැනීමට නායක ඩේවිඩ් වෝනර් සමත් විය.

තරගයේ පස්වැනි ඕවරය යැවූ සචිත්‍ර සේනානායකගේ පළමු පන්දුවට තමන්ගේ ‘රිවර්ස් ස්වීප්’ පහර යොදා ගනිමින් හයේ පහරක්ද, දෙවැනි පන්දුවට හතරේ පහරක්ද එල්ල කළ ග්ලෙන් මැක්ස්වල් ඊළඟ පන්දුවට ලකුණක් ලබා ගෙන පැති මාරු කිරීමෙන් පසුව වෝනර් මුහුණ දුන් පිට දඟ පන්දුව කෙළින්ම පිට ඉන්නේ වැදීමත් සමග ඔස්ට්‍රේලියානු පළමු කඩුල්ල බිඳ වැටිනි. පන්දු 25කින් මුළු ලකුණු 50 වාර්තා කළ කැන්ගරුවන්ගේ පළමු කඩුල්ල 29 වැනි පන්දුවෙන් බිඳ වැටෙන විට මුළු ලකුණු ප්‍රමාණය 57ක් වී තිබිණි. හතරේ පහර 5ක් එල්ල කළ වෝනර් පන්දු 15කින් ලකුණු 28ක් රැස් කළේය.

නව වැනි ඕවරයේ කසුන් රාජිතගේ තෙවැනි පන්දුවට හයේ පහරක් එල්ල කරමින් මැක්ස්වල් ලකුණු 50 සම්පූර්ණ කළේය. පන්දු 27කින් වාර්තා වූ එම ලකුණු 50 ට හතරේ පහර 7ක් හා හයේ පහර 2ක් ඇතුළත්ව තිබිණි.

පන්දු 57කින් ඔස්ට්‍රේලියානුවෝ මුළු ලකුණු 100 පසු කළ අතර ඉනිමේ අඩක් නිමා වන විට මුළු ලකුණු 110ක් සටහන්ව තිබිණි. පන්දු 78ක් අවසානයේ මුළු ලකුණු 150 සටහන් විනි.

ඔස්ට්‍රේලියානු දෙවැනි කඩුල්ල 14 වැනි ඕවරයේදී බිඳ වැටෙන විට ඔවූහු ලකුණු 154ක් රැස්කර ගෙන සිටියහ. සචිත් පතිරණගේ‍ පන්දුවට ‘ලෝන්ග් ඕෆ්’ ස්ථානයේ තිසර පෙරේරා අතට උඩ පන්දුවක් දෙමින් උස්මාන් කවාජා ලකුණු 36කට දැවී ගියේය. පන්දු 22කින් කවාජා එම ලකුණු ප්‍රමාණය ලබා ගත්තේ හතරේ හා හයේ පහර 2 බැගින්ද එල්ල කරමිනි.

කවාජා හා මැක්ස්වල් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ඕවර 8යි පන්දු 3කදී ලකුණු 97ක සබඳතාවක් පිහිටුවූහ.

මැක්ස්වල් 16 වැනි ඕවරයේ සුරංග ලක්මාල් එවූ ‘ෆුල් ටොස්’ පන්දුවට ඈත අහසට පහරක් එල්ල කළ අතර ‘බැක්වර්ඩ් ස්කුවෙයාර් ලෙග්’ ස්ථානයේ පන්දු රකිමින් සිටි ඩිල්ෂාන් පසුපසට ගොස් එය අල්ලා ගැනීමට උත්සාහ කළද පන්දුව ඔහුගේ අතින් ගිළිහිනි. කෙසේ වෙතත්, එය නීති විරෝධී පන්දුවක් වී තිබිණි. මේ අතරවාරයේ මැක්ස්වල් ලකුණු 2ක් ලබා ගනිමින් ඔහුගේ ප්‍රථම ජාත්‍යන්තර විස්සයි20 ශතකය වාර්තා කළේය. පන්දු 49කින් ලබා ගත් එම ශතකය හතරේ පහර 11ක් හා හයේ පහර 5කින් වර්ණවත් වී තිබිණි.

මේ වන විටහයේ පහර එල්ල කිරීම පුරුද්දක් කර ගෙන සිටි මැක්ස්වල්, සේනානායක එවූ තරගයේ 17 වැනි ඕවරයේදී පිට පිට හයේ පහර 3ක් එල්ල කළේය. ඊළඟ ඕවරයේදී, ලකුණු 10ක් ලබා ගෙන සිටි ට්‍රැවිස් හෙඩ්, රාජිතගේ පන්දුවට දුන් පහසු උඩ පන්දුවක් ‘ඩීප් මිඩ් විකට්’හිදී ධනංජය ද සිල්වා අතහැරියේය. ඒ වන විට මුළු ලකුණු ප්‍රමාණය 219ක් වී තිබිණි.

ඔස්ට්‍රේලියානු ඉනිමේ තිසර පෙරේරා එවූ අවසන් පන්දුවට ‘ඩීප් මිඩ් විකට්’හි ධනංජය ද සිල්වා අතට උඩ පන්දුවක් දෙමින් ට්‍රැවිස් හෙඩ් තෙවැනි කඩුල්ල ලෙසින් දැවී ගියේය. හතරේ පහර 4ක් හා හයේ පහර 3ක් එල්ල කළ හෙඩ් පන්දු 18කින් ලකුණු 45ක් ලබා ගත්තේය.

තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත්තේ ග්ලේන් මැක්ස්වෙල්.

Comments

comments

SHARE