ටෙස්ට් ක්‍රිකට් දෙකඩ කිරීමට එරෙහිව ආසියාවෙන් විරෝධය

1339
0

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජික රටවල ප්‍රධාන විධායක නිලධාරීන්ගේ හමුවක් ඩුබායිහි පිහිටි අන්තර්ජාතික ක්‍රිකට් සභා මූලස්ථානයේදී අද (6 වැනිදා) ආරම්භ වූයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නියුතු රටවල ක්‍රිකට් බලධාරීන්ගේ ගත හීන් දාඩිය බිඳු නංවමිනි. වසර 139 ක ඉතිහාසයක් පුරා එකම තලයක තිබූ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රේණි දෙකකට වෙන් කිරීම සම්බන්ධයෙන් මෙම දින දෙකේ සාකච්ඡාව පැවැත්වේ.

අන්තර්ජාතික ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම

1   පාකිස්තානය – 111
2   ඉන්දියාව – 110
3   ඕස්ට්‍රේලියාව – 108
4   එංගලන්තය – 108
5   දකුණු අප්‍රිකාව – 96
6   ශ්‍රී ලංකාව – 95
7   නවසීලන්තය – 95
8   බටහිර ඉන්දීය කොදෙව් – 67
9   බංගලාදේශය – 57
10 සිම්බාබ්වේ – 8

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ තරගකාරීත්වය වැඩි කිරීමටත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ප්‍රේක්‍ෂක ආකර්ශනය ඇද ගැනීමටත් යයි කියමින් වසරකට පමණ ඉහතදී මෙම යෝජනා මාලාව ගෙන ආවේය. එසේ වුවත් එහි යටි අරමුණ වන්නේ රූපවාහිනී අයිතිවාසිකම් වලින් ලැබෙන ආදායමෙන් වැඩි කොටසක් බලවත් රටවල් වලට ඇද ගැනීමයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම රැස්වීමට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ඩුබායි නුවර බලා ගොස් සිටී.

මෙම සාකච්ඡාව අද ආරම්භ වූ මුල් අවස්ථාවේදීම ආසියානු රටවලින් ඊට බලවත් විරෝධයක් එල්ල වී තිබේ. ශ්‍රී ලංකාව ඉන්දියාව සහ බංග්ලාදේශය මෙම යෝජනාවට එරෙහිව අදහස් දක්වා ඇති අතර සිම්බාබ්වේ ක්‍රිකට් පාලක මණ්ඩලයද ආසියාතිකයන්ගේ අදහස සමග එකඟ වී සිටී.

යෝජනාව ආරම්භයේදීම ඉදිරිපත් වූ විරෝධය හේතුවෙන් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම එතැනින් නවතා දැමූ ප්‍රධාන විධායක නිලධාරීහු වෙනත් මාතෘකා තෝරා ගත්හ. එහෙත් මෙම යෝජනාව සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් දක්වන ඕස්ටේ්‍රලියාව, එංගලන්තය නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අදාළ යෝජනාවට විකල්ප කිහිපයක් අද රාත්‍රියේදී ඉදිරිපත් කිරීමට සූදානමින් සිටියේය.

“මේ ආකාරයේ මට්ටම් දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවක් හඳුන්වාදීමේ යෝජනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බලවත් විරෝධය අපි මේ වන විටත් පැහැදිළිවම දක්වලා තියෙනවා. එවැන්නක් මගින් ශ්‍රේණිගත ලයිස්තුවේ පහළින් සිටින කණ්ඩායම් වලට විශාල අනර්ථ කිහිපයක්ම වන බවත් අපි කියලා තියෙනවා” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා අති විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

සුමතිපාල මහතා මෙම නිවේදනය නිකුත් කළේ ශ්‍රේණි දෙකේ ටෙස්ට් ක්‍රිකට් යෝජනාව සමබන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය දක්වන විරෝධය වෙනුවෙන් ස්තුති කරමිනි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්ථාවරය වන්නේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව එවැනි මට්ටම් දෙකකින් පවත්වාගෙන යාම නිසා ශ්‍රේණිගත ලයිස්තුවේ පහළ සිටින රටවල ආදායම් තත්ත්වය ඉතාමත් සීඝ්‍ර ආකාරයෙන් පහත වැටෙන බවත්, ටෙස්ට් තරගවල තරගකාරීත්වය පහළට වැටීමෙන් නරඹන්නන්ගේ උනන්දුවද හීන වන බවයි. ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණි දෙකකින් ක්‍රියාත්මක කිරීම මගින් දීර්ඝ කාලීන වශයෙන් ඉතාමත් අහිතකර ප්‍රතිඵල ගෙනෙන බවත් මේ වන විටත් මෙවැනි යෝජනා හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ වෙළෙඳ පොළ ස්ථාවරව පවතින රටවල පවා ආර්ථිකමය වටිනාකම් කඩාවැටීමක් ඇතිවන බවත් අළෙවි විශාරදයෝ පෙන්වා දෙති.
යෝජනාවලියේ එක් ප්‍රධාන අරමුණක් වන්නේ රූපවාහිනී අයිතිවාසිකම් වලින් ලැබෙන ආදායම් සියල්ලම සංචිත ගත කිරීමයි. ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු අප්‍රිකාව වරෙක අංක 1 ස්ථානයේ සිටියද රූපවාහිනී වටිනාකම් අනුව විශාල වෙළෙඳ පොළ වටිනාකමක් ඔවුන්ට හිමිව නොතිබිණ.
යම් හෙයකින් ශ්‍රේණි දෙකේ ටෙස්ට් තරග යෝජනාව ක්‍රියාත්මක වුවහොත් ශ්‍රේණිගත ලයිස්තුවේ ඉහළින් සිටින කණ්ඩායම් 7 ඉහළ තලයට එක්වන අතර පහළ කණ්ඩායම් 3 සහ තවමත් ටෙස්ට් වරම් ලබා නැති නමුත් ඉදිරියෙන් සිටින කණ්ඩායම් දෙකක් පහළ තලයටත් එක්වේ. ශ්‍රේණි දෙකේම කණ්ඩායම් සංඛ්‍යාව 12 කි.

නිශ්චිත කාලයක් අවසානයේදී ඉහළ තලයේ පහළින්ම සිටින කණ්ඩායම දෙවැනි ශේණියටත් පහළ තලයේ ඉහළින්ම සිටින කණ්ඩායම පළමු වැනි ශ්‍රේණියටත් උසස්කිරීම් සහ පහළ හෙළීම් ක්‍රියාත්මක වනු ඇත.

අන්තර්ජාතික ටෙස්ට් කණ්ඩායම් ශේණිගත කිරීමේදී ලයිස්තුවේ ඉහළින් සිටින කණ්ඩායමක් පරාජය කිරිමට පහළින් සිටින කණ්ඩායමක් සමත් වුවහොත් ලැබෙන ප්‍රසාද ලකුණු සංඛ්‍යාව විශාලය. ශ්‍රේණිගත ලයිස්තුවේ ආසන්න කණ්ඩායම් දෙකක් තරග පැවැත්වෙන තරගාවලියක ජයග්‍රාහකයාට පිරිනැමෙන ප්‍රසාද ලකුණු සංඛ්‍යාව අඩුය.

ශ්‍රී ලංකා — ඕස්ටේ්‍රලියා ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට පෙර ප්‍රසාද ලකුණු 85 ක් පමණක් ලබා 7 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගාවලිය 3–0 ක් ලෙස ජයගැනීමෙන් පසුව ප්‍රසාද ලකුණු 95 ක් හිමිකරගනිමින් හයවැනි තැනට පත්විය. එවැන්නක් කළ හැකිවූයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව එකම තලයක පවතින බැවිනි.

මෙවැනි යෝජනාවක් ක්‍රියාත්මක කිරීමේදී අන්තර්ජාතික ක්‍රිකට් සභාව හමුවේ ඇති විශාලතම බාධකය වන්නේ ඉන්දියාව ඊට එරෙහි වීමයි.

“ක්‍රිකට් ක්‍රීඩාවේ ලෝක පාලනාධිකාරය වන අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මූලික වගකීම වන්නේ ක්‍රීඩාව තව තවත් ලෝකය පුරා ජනප්‍රිය කරලීමයි. ඒත් මේ වගේ දේකින් සිද්ධ වෙන්නේ ඉහළින් ඉන්න රටවල් 5 ට විතරක් ඒ ගැන උනන්දුව ඇතිවීමයි. ඊට අමතරව අනෙක් සියලු දෙනාම මේකෙන් බලවත් අපහසුතාවට පත්වෙනවා” යයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති අනුරාග් ඨාකූර් මහතා පසුගිය දිනෙක අන්තර්ජාතික ප්‍රවෘත්ති සේවයකට පවසා තිබිණ.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාගෙන් අද රාත්‍රියේ කළ විමසීමකදී සුමතිපාල මහතා කියා සිටියේ මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවයි.

“මේක අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ හිතූ මනාපයට කරන්න පුළුවන් දෙයක් නෙමේ. ආසියාවේ තවත් රටවල් දෙකක් අපිත් එක්ක ඉන්නවා. අපි මේ යෝජනාව පරාජය කරන්න කළ හැකි උපරිම දේ කරනවා” යයිද සුමතිපාල මහතා පැවසීය.

යන්තම් කෝටි 2 ක පමණ ජනගහණයක් සිටින ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායමේ ස්ථාවර වාර්ෂික වටිනාකම රුපියල් මිලියන 250 ක් හෙවත් කෝටි 25 කි. ක්‍රිකට් දස්කම් අතින් කෙතරම් පහළ මට්ටමක සිටියද කෝටි 15.6 ක ජනගහණයක් වෙසෙන බංග්ලාදේශයේ ක්‍රිකට් කණ්ඩායමේ ස්ථාවර වටිනාකම ශ්‍රී ලංකා කණ්ඩායමේ වටිනාකම මෙන් 15 ගුණයකින් තරම ඉහළය.

ඉන්දියාවේ ජනගහණය කෝටි 125 ඉක්මවන බැවින් ලෝකයේ විශාලතම මූල්‍ය වටිනාකම ඇති ක්‍රිකට් කණ්ඩායම වන්නේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමයි.

අන්තර්ජාතික පුවත් වාර්තා වලින් කියැවෙන්නේ රූපවාහිනී අයිතිවාසිකම් වලින් උපයාගනු ලබන මුදල් සංචිත ගත කිරීම පිළිබඳව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නොසතුටු බවයි. රූපවාහිනී ආදායම් සංචිත ගත කළහොත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට තනිවම භ-ුක්ති විඳිය හැකි විශාල මුදල් කන්දරාවක් අහිමි වේ.

Comments

comments

SHARE