මලල ක්‍රීඩා තේරීම් මුල් පුටුව සමන්‍ට

426
0

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා තේරීම් කමිටු සභාපති ලෙස සමන් කුමාර ගුණවර්ධන මහතා පත් කරයි. ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා විසින් පස් දෙනකුගෙන් යුත් මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඊයේ ප්‍රකාශයට පත් කළ අතර එහි සෙසු සාමාජිකයන් ලෙස විමලසේන පෙරේරා, පැට්රික් සපරමාදු, ඩී. ඒ. දයාරත්න හා උදේනී කාංචනමාලා යන මහත්ම මහත්මීහු කටයුතු කරති.

සභාපති ලෙස පත්වූ සමන් කුමාර ගුණවර්ධන මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂවන අතර 1998 සිට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ තේරීම් කමිටු සාමාජිකයෙක් ලෙස කටයුතු කර ඇත. ඔහු 1992 සිට මලල ක්‍රීඩා සටහන්කරු ලෙස කටයුතු කළ හෙයින් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා පිළිබඳ වැටහීමකින් ක්‍රියාකරන්නෙකු ලෙස නම් දරා සිටී.

විමලසේන පෙරේරා මහතා වසර 24ක් මැරතන් ශ්‍රී ලංකා වාර්තාව ඉසිලු ක්‍රීඩකයා වන අතර, පැට්රික් සපරමාදු මහතා 1991දී දකුණු ආසියා ක්‍රීඩා උළෙලේ උස පැනීමේ රන් පදක්කම දිනා ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවීමට සමත් වූවෙකි. ඩී. ඒ. දයාරත්න මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු විද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු වන අතර උදේනී කාංචනමාලා මීටර් 1500 කාන්තා ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව බිහිකළ ක්‍රීඩිකාවකි.

Comments

comments

SHARE