වෙලෙද සේවා T20 තරගාවලිය අද සිට

441
0

දස්කම් සපිරි යොවුන් ක්‍රීඩකයකුට ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමේ වැඩි අවස්ථාවක් ලබාදෙන වෙළෙඳ සේවා ‘ඒ’ කොටසේ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද (10) ඇරැඹෙයි.

මෙරට පුමුඛතම වෙළෙඳ සේවා ක්‍රිකට් කණ්ඩායම් අටක් තරග වදින මේ තරගාවලියේ නැගී එන ක්‍රීඩකයාට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ දොරටු හැර දෙමින් ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර ඩැරන් ලීමන් ක්‍රිකට් ඇකඩමියේ පුහුණුව ලැබීමේ ශිෂ්‍යත්වයක් පිරිනැමීමට කටයුතු යොදා තිබේ. පිත්තෙන්, පන්දුවෙන් හෝ පන්දු රැකීමෙන් ඕනෑම අංශයකින් කැපී පෙනෙන දස්කම් දක්වන අවුරුදු 27න් පහළ ක්‍රීඩකයකු මෙහිදී විශේෂ කමිටුවක් විසින් තෝරාගනු ලබන්නේ අදාළ කාලය වනවිට ජාතික කණ්ඩායමට එක්වීමේ වැඩි අවස්ථාවක් හිමිවිය හැකි අංශය සළකා බලමිනි.

දේශීය ක්‍රිකට් තරග බිමේ ප්‍රබලතම ක්‍රීඩකයන් රැසක් තරග වදින ප්‍රිමියර් ලිග් තරගාවලියෙන් අද ඇරැඹෙන වෙළෙඳ සේවා ක්‍රිකට් තරගවාරයට පිළිමලුන් පිටුදැකීමේ තරගාවලියක් සහ විස්සයි20 තරගාවලියක් ද ඇතුළත් ය. අද සිට ලබන ඔක්තෝබර් මස 1 වැනිදා දක්වා තරග 28කින් සමන්විත ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වෙන අතර එහි දී ඉදිරියෙන් පසුවන කණ්ඩායම ලීග් ශූරයන් බවට පත්වෙයි. ඔක්තෝබර් මස 8 වැනිදා අර්ධ අවසන් පූර්ව වටයෙන් ආරම්භ කෙරෙන පිළිමලුන් පිටුදැකීමේ තරගාවලියේ අදාළ කණ්ඩායම් තරග කරන්නේ ලීග් තරගාවලිය අවසානයේ ලැබූ ප්‍රසාද ලකුණු සටහනට අනුවය. තරග 7කින් සමන්විත පිලිමලුන් පිටුදැකීමේ තරගාවලිය ඔක්තෝබර් 23 පැවැත්වෙන අවසන් මහා තරගයෙන් නිමාවට පත්වෙයි. වෙළෙඳ සේවා ක්‍රිකට් තරගවාරයේ වැඩිම අවධානයකට ලක්වී ඇති විස්සයි20 තරගාවලිය ආරම්භ වන්නේ ඔක්තෝබර් 26 වැනිදාය. අර්ධ අවසන්, අවසන් පුර්ව සහ අවසන් මහා තරගය ලෙස තරග 7කින් සමන්විතව පැවැත්වෙන මේ තරගාවලියේ අවසන් මහා තරගය ලබන ඔක්තෝබර් මස 30 වැනිදා පැවැත්වෙයි.

වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයේ සංවිධානයෙන් සහ සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රාහකත්වයෙන් 24 වැනි වරටත් පැවැත්වෙන වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියට පසුගිය වසරේ ලීග් සහ පිළිමලුන් පිටුදැකීමේ තරගාවලියේ ශූරයන් බවට පත්වූ මාස් ඇක්ටිව් ‘ඒ’ පිල (නායක ජෙහාන් මුබාරක්), පසුගිය වසරේ පිලිමලුන් පිටුදැකීමේ අනුශූරතාව දිනූ කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් ‘ඒ’ පිල (නායක උපුල් තරංග), පසුගිය වසරේ විස්සයි20 ශූර මාස් ඉන්ටිමේට් යුනිචෙලා ‘ඒ’ පිල (නායක චාමර සිල්වා), විස්සයි20 අනුශූර සම්පත් බැංකු කණ්ඩායම (නායක ජීවන් මෙන්ඩිස්), හැටන් නැෂනල් බැංකු ‘ඒ’ පිල (නායක මාධව වර්ණපුර), ජෝන් කීල්ස් ‘ඒ’ පිල (නායක භානුක රාජපක්ෂ), පසුගිය වසරේ ‘බී’ කාණ්ඩයේ ශූරතාව දිනූ ටෙක්ස්චර්ඩ් ජර්සි (නායක ධම්මික ප්‍රසාද්) සහ පසුගිය වසරේ ‘බී’ කාණ්ඩයේ අනුශූර ඩීමෝ කණ්ඩායම (නායක මතීෂ පෙරේරා) එක්වී සිටිති.

තරගාවලිය ආරම්භ කරමින් පසුගිය වසරේ ලීග් ශූර මාස් ඇක්ටිව් පිල සහ ඩීමෝ පිල අතර තරගය අද කටුනායක නිදහස් වෙළෙඳ කලාපීය ක්‍රීඩාංගණයේ ද, සම්පත් බැංකු පිල සහ ටෙක්ස්චර්ඩ් ජර්සි පිල අතර තරගය මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ ද පැවැත්වෙයි.

වසර 1994 දී ආරම්භ කළ වෙළෙඳ සේවා ප්‍රිමියර් ලීග් තරගාවලියේ වැඩිම වාර ගණනක් ශූරයන් බවට පත්වූයේ වසර 6කදී කුසලානය අත්පත්කරගනු ලැබූ හැටන් නැෂනල් බැංකු කණ්ඩායම විසිනි. මීට අමතරව සම්පත් බැංකු පිල වසර 5ක් ලීග් ශූරතාව දිනා ගත්තේය. 2001 දී ආරම්භ වූ පිළිමලුන් පිටුදැකීමේ තරගාවලියේ දීත් සිය බල පරාක්‍රමය විදහා දැක්වූ හැටන් නැෂනල් බැංකු පිල වසර 5කදීම එහි කුසලානය ඩැහැ ගත්තේය. 2004 වසරේ ආරම්භ කළ විස්සයි20 තරගාවලිය මඳ විරාමයකින් පසුව යළි 2010 පැවැත්වූ අතර නොකඩවා පැවැත්වීම ආරම්භ කළේ 2013 වසරේ සිටය. එහිදී සම්පත් බැංකු පිල සහ මාස් යුනිචෙලා පිල වසර 2 බැගින් කුසලානය බෙදා හදා ගත්හ. වෙළෙඳ සේවා ක්‍රිකට් තරගබිමේ මුල්කාලයේ වැඩිම දස්කම් හැටන් නැෂනල් බැංකු පිලෙන් සහ සම්පත් බැංකු පිලෙන් වාර්තා වූවත් මෑත කාලයේ සිට එහි ආධිපත්‍යය පතුරුවාලීමට සමත්වී ඇත්තේ මාස් සමූහ ව්‍යාපාරයට අයත් මාස් ඇක්ටිව්, මාස් යුනිචෙලා වැනි කණ්ඩායම් ය. වසර 2012 සිට මේ කණ්ඩායම් අබිබවා වෙළෙඳ සේවා ක්‍රිකට් තරග බිමේ ජයකෙහෙලි නැංවීමට කිසිදු කණ්ඩායමක් සමත් නොවීම කැපී පෙනෙයි.

Comments

comments

SHARE