පැහැරගත් මනමාලිය

1568
0

ගුටි කන්නට කිසිවෙකු කැමති නැත.තමන්ගේ ගෙදරට පැමිණ ආගන්තුකයකු හොදහැටි පහරදේනම් ඉවසන්නට අමාරුය. ඊටත් වඩා දුක පහරදී බඩු මුට්ටුද පොලවේ ගසා තමනගේ වටිනා දේ රැගෙන යාමය. ග්ලේන් මැක්ස්වෙල් කදිමට එය කළේය. T20 තරග දෙක පමණක් නොව එතෙක් අප සුරක්ෂිත කරගත් ලෝක වාර්තාවද උදුරා ගත්තේය. සතියක් ඇතුළත ශ්‍රී ලංකාව ඉදිරියේ ලියවී තිබු එක්දින මෙන්ම T20 ලෝක වාර්තාවද අපට අහිමි වීම පිළිබද දුක දරාගැනීම අපහසු නමුදු ක්‍රිකට් ක්‍රීඩාවේ ආශ්චර්යද එයමය.

මැක්ස්වෙල් අපේ කඩුවෙන් අපිටම කෙටුවාසේ සිදුවීමක් ඉතිහාසය අපට මතක් කරදෙයි. 1996 මාර්තු 17 වනදා ලෝක ශුරතාවය දිනා හරියටම දින 16 කට පසු අපි පළමු එක්දින තරගයට එකතු වන්නේ පාකිස්ථානය සමග ක්‍රිකට් ආගන්තුක සින්ගප්පුරුවේදීය. අමීර් සොහෙල්ගේ නායකත්වයෙන් යුතු පාකිස්ථාන පිලට වකාර් යුනුස් , අකීබ් ජාවෙඩ් මෙන්ම සක්ලෙන් මුෂ්ටාක් වැනි ප්‍රබල පන්දු යවන්නන් ඇතුලත්ව තිබුණි. ලෝක කුසලාන තරගාවලියේ වීරයා ලෙස එවකට කිරුළු පැළඳ උපරිමයේ සිටි සනත් ජයසූරිය පිටියේ යකා නටන්නට පටන් ගත්තේ පාකිස්ථාන පන්දු රකින්නන් ප්‍රේක්ෂකින් කරමිනි. තම අර්ධ ශතකය පන්දු 32 තුල ඉක්මවන ජයසූරිය ශතකය වෙනුවෙන් වැය කරන්නේ පන්දු 48 ක් පමණි. 1988-89 තරගවාරයේ හිටපු ඉන්දීය නායක මොහමඩ් අසරුදීන් නවසීලන්තයට එරෙහිව පන්දු 62 කින් තබා තිබු වාර්තාව ජයසූරිය උදුරාගෙන පන්දු තුනකට පසුව එතෙක් ඉනිමක වැඩිම හයේ පහර වාර්තාව වූ ගෝර්ඩන් ග්‍රිනිච් සතුව තිබූ හයේ පහර 8 වාර්තාවද අලුත් කරන්නට සමත් විය. අමීර් සොහෙල් ගේ ඕවරයකදී හයේ පහර 4 ක් පිට පිට ලැබූ සනත් ඕවරයකට ලකුණු 30 ක් ලබා එතෙක් එක්දින තරග ඉතිහාසයේ නරකම ඕවරයේ වාර්තාවද අමීර් සොහෙල් වෙත පවරන ලදී. හරියටම ඉන් දින පහකට පසුව පන්දු 17 කදී එතෙක් ලොව වේගවත්ම අර්ධ ශතකය ද  ලබා සනත් ජයසූරිය ක්‍රිකට් ලොව මහා කෙරුම් කාරයකු බවට පත් වන්නේ පාකිස්ථාන ක්‍රිකට් දණ ගස්සමිනි.

එකල ඉන්දියාවේ ජනප්‍රියම පුද්ගල නාම අතර ජයසූරියද විය. දබදිව වන්දනාවේ ගිය අපේ ඇත්තන් පිළිගත්තේ ජයසූරියගේ රටේ ඇත්තන් කියමිනි. ජයසූරිය නමින් සාරී වෙළද පොළද ඉන්දියාවේ ජනප්‍රිය වන  විට එවකට ලංකික ක්‍රීඩකයකු අත්සන් කල ඉහලම වෙළද ගිවිසුම වෙනුවෙන් පෙප්සි සමාගම ජයසූරිය සමග එක් විය.

එය ශ්‍රී ලංකා ක්‍රිකට් උච්චතම අවදියයි. කෙන්යානු සිව් කොන් තරගාවලියේ තීරණාත්මක තරගය වෙනුවෙන් ශ්‍රී ලංකාව යලි පාකිස්ථානය හමුවන්නේ වාර්තා අලුත් කර හරියටම මාස හයකට පසුවය. 96 ලෝක ශුරතාවය දිනු කණ්ඩායමේ එක් වෙනස් කමක් සමග පමණක් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුරලි මෙන්ම වාස් ද ප්‍රබල පන්දු යවන්නය. ඊට ධර්මසේන කදිමට උදව් කරද්දී වමත් වේග පන්දු යවන සජීවද  සිල්වා කැදවා තිබුනේ වෙනසකටය.  ජයසූරිය සහ අරවින්ද ද කණ්ඩායමේ සිටි කපටි පන්දු යවන්නන්ය. පාකිස්ථාන අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසියේ වයස අවරුදු 16 දින 217 ක් පමණක් මුහුකුරා ගිය සහීඩ් අෆ්රිඩි නම් ආගන්තුකයෙකි. ඊට පෙර කිසිදු ජාත්‍යන්තර තරගයක ඔහු අංක 3 පිතිකරු නොවීය. එවකට ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ අෆ්රිඩි “කබ්බෙක්” නොව “පොඩි සිප්පි කටුවකට” සමානය. නමුත් එදා අෆ්රිඩි අපේ අභිමානය කීතු කීතු කර දැම්මේය.ඇතැම් හයේ පහරවල් පතිත වුයේ නයිරෝබි  ජිම්කානා පිටියේ  රථ ගාලේය. තමන්ගේ පන්දු 48 ලෝක වාර්තාව මාස 6ක් ඉක්මයනවිට  පන්දු 37 කින් අෆ්රිඩි උදුරා ගද්දී ජයසූරියට බලා සිටින්නට හැර අන් යමක් නොවීය. ජයසූරියගේ පන්දු 11 ක් තුල පමණක් අෆ්රිඩි ලකුණු 41 ක් ලබන අතර එය හරියට මංගල සාදයේදී දෙවන මනාලයා මනමාලිය පැහැර ගත්තා වගේය. එවකට ලොව උපයාශීලීම ක්‍රිකට් නායකයා වූ අර්ජුන රණතුංග පිටියේ ප්‍රේක්ෂකයකු කල අෆ්රිඩි දකුණු අප්‍රිකාව සමග අවසන් තරගයට තම කණ්ඩායම රැගෙන ගියේ ලෝක ශුර ශ්‍රී ලංකා ලේබලයද පලුදු කරමිනි.

වාර්තා අලුත් නොවුණු ක්‍රිකට් ලෝකය තුල හුදකලාව රජයන බවට නිසැකය. අෆ්රිඩිගේ වාර්තාව වසර 18 කට පසු පන්දු 36 කින් නවසීලන්ත ක්‍රීඩක කොරේ ඇන්ඩර්සන් අලුත් කල අතර වත්මන් ක්‍රිකට් ලොව ඉන්ද්‍රජාල ප්‍රහාරකයා වන බෙන්ජමින් ඩිවිලියස් පන්දු 31 කදී එය ද පැහැර ගන්නා ලදී. මේවන විට පන්දු 16 කින් ලොව වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාවද ජයසූරියගේ නමින් ඩිවිලියස් උදුරාගෙන ඇත. අතීතයේ දිනෙක එකී වාර්තා දෙකම සනත් ජයසූරිය නම් ලොව බිහිවූ ක්‍රිකට් යෝධයාගේ නම ඉදිරියේ සටහන්ව තිබූ බවට මෙරට ක්‍රිකට් ප්‍රේමීන් ප්‍රේමයෙන් සිහිපත් කරනවාට සැක නැත.සිංහ ක්‍රිකට් පිටියේ අතීත රණකාමීත්වය සහ රසකාමීත්වය  වළලා දමන්නට නොදී මතු කල හැකි පරපුර සොයා යන්නට වත්මනේ ජයසූරියටම භාර වීමත් දෛවොපගත නොවන්නේද…..?

– මංජුල ලන්දෙකුඹුර –

Comments

comments

SHARE