ශෂිකලාට ඔස්ට්‍රේලියානු තරගාවලිය අහිමි වෙයි

334
0

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා ශෂිකලා සිරිවර්ධන දණහිස ශල්‍යකර්මයකට ලක්ව සිටීම නිසා ඕස්ට්‍රේලියාවට එරෙහිව මේ මස 18 වැනිදා ශ්‍රී ලංකාවේදී ආරම්භ වන ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ එක්දින තරගාවලිය ඇයට අහිමිවී තිබේ.
ශෂිකලා පසුගිය 7 වැනිදා දකුණු පාදයේ දණහිස ශල්‍යකර්මයකට ලක්කර ඇති අතර ඇයට යථාතත්ත්වයට පත්වීමට මාස 4 ක පමණ කාලයක් ගතවනු ඇති බව වෛද්‍ය උපදෙස් ලැබී තිබේ. ශෂිකලාගේ ඉවත්වීමෙන් පුරප්පාඩු වූ නායකත්වයට උප නායිකා චමරි අතපත්තු පත්කර තිබේ.

ඇය පසුගිය සතියේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පුහුණු සැසියකට සහභාගි වෙමින් සිටියදී අබාධයකට ලක්ව තිබේ. ඇය මීට වසරකට පමණ පෙර රිය අනතුරකට ලක්ව දණහිස ආබාධයකට ලක්ව සුවය ලබාසිටිය ද, පුහුණුවීම් අතරතුරදී නැවතත් ආබාධය මතුවී තිබේ. හැකි ඉක්මනින් ශල්‍යකර්මය නොකළ හොත් ඇයට තවදුරටත් ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති බවට වෛද්‍ය උපදෙස් ලැබීම නිසා ශල්‍යකර්මය ඉක්මන් කළ බව දැනගන්නට තිබේ.

ශෂිකලා ආබාධයකට ලක්වන විට ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යොමුකර තිබූ බවත් එම සිද්ධියත් සමඟ ක්‍රීඩිකාවක් ආදේශ කර නැවතත් ආමාත්‍යවරයාට යොමුකර තිබේ.

ඕස්ට්‍රේලියානු පිලට එරෙහිව මේ මස 18 වැනිදා දඹුල්ලේදී ආරම්භ වන එක්දින තරගාවලියට තරග 5 ක් ඇතුළත් වේ. එංගලන්තයේදී ලබන වසරේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට මෙම තරගාවලියේ පළමු තරග තුන ඇතුළත්වේ. මෙම සංචාරයට විස්සයි20 තරගයක් පමණක් ඇතුළත් වේ.
ඕස්ට්‍රේලියානු කාන්තා පිල මේ මස 13 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී මේ මස 15 වැනිදා පුහුණු තරගයකට සහභාගි වීමට නියමිතය.

තරග කාලසටහන
● සැප්. 18 – පළමු එක්දින තරගය දඹුල්ලේදී
● සැප්. 20 – දෙවැනි එක්දින තරගය දඹුල්ලේදී
● සැප්. 23 – තෙවැනි එක්දින තරගය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
● සැප්. 25 – සිවුවැනි එක්දින තරගය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
● සැප්. 27 – විස්සයි20 තරගය එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී

Attachments

Comments

comments

SHARE