ජගත් විශ්වවිද්‍යාලයීය T20 ලෝක ශූරතාව ශ්‍රී ලංකාවේ බී.එම්.එස්.කණ්ඩායමට

473
0

ජගත් විශ්ව විද්‍යාල T20 ක්‍රිකට් ලෝක ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයේදී බංගලාදේශ ලිබරල් ආර්ට් විශ්ව විද්‍යාල පිලට එරෙහිව ලකුණු 24 ක ජයක් ලබාගනිමින් 2016 විශ්ව විද්‍යාල T20 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ බී.එම්.එස්. විශ්ව විද්‍යාල පිල සමත්විය.

මෙම තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ  පැවැත්විණි.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාවේ බී.එම්.එස්. විශ්ව විද්‍යාල පිල කඩුලු 9 ක් දැවී ලකුණු 191 ක් ලබාගත්තේය.

ලකුණු 192 ක ඉලක්කයක් හඹාගිය බංගලාදේශ ලිබරල් ආර්ට් විශ්ව විද්‍යාල පිලට ඕවර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 167 ක් පමණී.

පළමු කඩුල්ල ලකුණු පහකදී බිඳවැටීමෙන් පසුව ප්‍රවේගකාරී පිතිහරඹයක නිරතවෙමින් දෙවන කඩුල්ල සදහා ලකුණු 88 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට අවිශේක් මිත්‍රා (28) සහ මොහොමඞ් හසනුස්සමාන් (39) සමත්වූහ.

පන්දුවාර 10 ක් අවසන් වනවිට පන්දුවාරයකට ලකුණු 10 කට වඩා ලකුණු වේගයක් පවත්වාගෙන ගිය බංගලාදේශ ලිබරල් ආර්ට් විශ්ව විද්‍යාල පිල අවිශේක් මිත්‍රා සහ මොහොමඞ් හසනුස්සමාන් දෙදෙනාගේ දැවීයාමෙන් පසු විශාල කඩාවැටීමකට ලක්විය.

විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ  කොෂාන් ජයවික්‍රම ලකුණු 27 කට කඩුලු හතරක් දවාගනිමින් බී.එම්.එස්. විශ්ව විද්‍යාල පිලට ජයමාවත විවර කර දුන්නේය.

අවසන් තරගයේ වීරයාට හිමි සම්මානය රනිත ලියනාරච්චි විසින් දිනාගන්නා ලදී.

කාසියේ වාසිය දිනාගත් බංගලාදේශයේ ලිබරල් ආර්ට් විශ්ව විද්‍යාල පිල පළමුව පන්දුවට පහරදීම සදහා ශ්‍රි ලංකා බී.එම්.එස්. විශ්ව විද්‍යාල පිලට ආරාධනා කළේය.

ලකුණු 108 කට කඩුලු හයක් බිඳවැටී තිබු අවස්ථාවේ පිටියට පිවිසි රනිත ලියනාරාච්චි ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරතවෙමින් පන්දු 27 කදී හයේ පහර හයක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 52 ක් රැස්කරමින් ශ්‍රි ලංකා බී.එම්.එස්. විශ්ව විද්‍යාල පිල ලකුණු 190 සීමාවෙන් එතෙර කළේය.

හත්වන කඩුල්ල සදහා තිලක්කෂ සුමනසිරි සමගින් ලකුණු 39 ක සම්බන්ධතාවයක් සහ අටවන කඩුල්ල සදහා මදුෂාන් රවිචන්ද්‍රකුමාර් සමගින් ලකුණු 38 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට රනිත ලියනාරාච්චි  සමත්වූයේය.

ශ්‍රි ලංකාවේ බී.එම්.එස්. විශ්ව විද්‍යාලය – පන්දුවාර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණ 191

(ධනංජය ද සිල්වා 32, රනිත ලියනාරච්චි 52, අරිෆූර් රහ්මන් 20/3, මොහොමඞ් ඉස්ලාම් 22/2)

බංගලාදේශයේ ලිබරල් ආර්ට් විශ්ව විද්‍යාලය – පන්දුවාර  20 කදී කඩුලු 8 ක් දැවී ලකුණ 167

(අවිශේක් මිත්‍රා 28, මොහොමඞ් හසනුස්සමාන් 39, මරාජ් නිලෝයි 20, කොෂාන් ජයවික්‍රම 27/4, චාමික කරුණාරත්න 17/2)

Comments

comments

SHARE