මෙවරත් මහවැලි ශූරතාව එච් කලාපයට

177
0

දෙහිඅත්තකණ්ඩිය මහවැලි ක්‍රීඩාංගණයේදී අවසන් වූ 28 වැනි මහවැලි ක්‍රීඩා උළෙ‍ලේ සමස්ත ශූරතාව දිනා ගැනීමට මහවැලි  ‘එච්’ කලාපය සමත් විය.

‘එච්’ කලාපය ලකුණු 86ක් දිනාගත් අතර, ලකුණු 84ක් දිනාගත් මහවැලි ‘බි’ කලාපයට අනුශූරතාව හිමිවිය. මහවැලි ‘සී’ කලාපය ලකුණු 74ක් හිමිකර ගනිමින් තෙවැනි ස්ථානයට පත්විය.

28 වැනි මහවැලි ක්‍රීඩා උළෙ‍ලේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කොත්ම‍ලේ-වික්ටෝරියා කලාපයේ ඩී.එම්. සිල්වා ද, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස වලව කලාපයේ නදීෂා රාමනායක ද කුසලාන දිනාගත්හ.

වික්ටෝරියා කලාපයේ ඩී.එම්. සිල්වා මීටර් 400 ඉසව්ව තත්පර 48.4කින් අවසන් කරමින් නව තරග වාර්තාවක්ද සමගින් රන් පදක්කම දිනාගත් අතර, වලව කලාපයේ නදීෂා රාමනායක මීටර් 400 ඉසව්ව තත්පර 57.3
දක්ෂතාවයක් දක්වමින් නව තරග වාර්තාවක්ද සමගින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.

මෙවර තරගාවලියේ නව තරග වාර්තා 5ක් පිහිටුවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

‘සී’ කලාපයේ ටී.ඩබ්ලිව්. රත්නපාල පිරිමි මී. 10,000 ඉසව්වේද (විනාඩි 33.42.5), ‘සී’ කලාපයේම ඒ.පී.ජී.කේ. ගුරුගේ පිරිමි උස පැනීමේ ඉසව්වේද (මී. 2.01), ‘බි’ කලාපයේ ඉසුරු සාලිංග පිරිමි ඇවිදීම මීටර් 3000 තරගයේද (විනාඩි 13.30.3) නව තරග වාර්තා පිහිටුවීමට සමත් වූහ.

මෙවර තරගාවලියේ ජවන හා පිටිය පිරිමි සහ කාන්තා ශූරතා දෙකම මහවැලි ‘බි’ කලාපය සතුවිය.

28 වැනි මහවැලි ක්‍රීඩා උළෙ‍ලේ සමාප්ති උත්සවය සහ ජයසංකේත ප්‍රදානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්  සිදුකෙරුණි.

එම අවස්ථාවට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ, ඛනිජ තෙල් නියෝජ්‍ය ඇමැතිනී අනෝමා ගමගේ, විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න, මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න සහ තවත් මැති ඇමැතිවරු රැසක් සහභාගි වූහ.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1500කට ආසන්න ප්‍රමාණයක් තරග වැදුණු 28 වැනි මහවැලි ක්‍රීඩා උළෙල විචිත්‍රවත් සංදර්ශනයකින් අනතුරුව  නිමාවට පත්විය.

Comments

comments

SHARE