යොවුන් ක්‍රීඩකයින්ට අමානුෂික ලෙස සැලකූ කලමනාකරුගේ රෙදි ගැලවේ

732
0

ශ්‍රී ලංකා යොවුන් කණ්‌ඩායමේ එංගලන්ත තරග සංචාරය අතරතුරදී ක්‍රීඩකයන්ට අමානුෂික ලෙස බැණ වදිමින් කටයුතු කළේ යෑයි එම කණ්‌ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරන ලද පුද්ගලයාට චෝදනා එල්ල වී තිබේ.

මාස එකහමාරකට ආසන්න කාලයකින් සමන්විත වූ මෙම තරග සංචාරයේදී ක්‍රීඩකයන්ට පරුෂ වචනයෙන් බැණ වැදීම නිසා එම ක්‍රීඩකයන් දැඩි ලෙස මානසික පසුබෑමකට ලක්‌වූ බව මෙම තරග සංචාරයට එක්‌වූ විධායක සභා සාමාජිකයකු හෙළිදරව් කිරීමත් සමග මේ පිළිබඳව තොරතුරු අනාවරණය වීමට පටන් ගෙන තිබේ.

ඒ අනුව කරුණු සාකච්ඡා කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතන විධායක සභා රැස්‌වීමේදීද එම කළමනාකරුගේ සේවය දැඩි ලෙස විවේචනයට ලක්‌වූ බවද සඳහන් වේ. මෙහිදී ක්‍රීඩකයන්ට අමතරව කණ්‌ඩායමේ තේරීම් කටයුතු සිදුකරන ලද තේරීම් කමිටු නිලධාරීන්ටද මොහු විසින් ප්‍රසිද්ධියේ බැණ වැදීමද එම රැස්‌වීමේදී වැඩි වශයෙන් අවධානය යොමු වී තිබේ.

මෙම සංචාරය අතරතුරදී අම්පාර ප්‍රදේශයෙන් පැමිණ මහනුවර පාසලක ක්‍රීඩා කරනු ලබන වේග පන්දු යවන්නකුට දැඩි ලෙස බැණ වැදී තිබෙන අතර මෙම තත්ත්වය ඉවසා ගත නොහැකි වූ එම ක්‍රීඩකයා හඬා වැටී තිබෙන බවද කණ්‌ඩායම් ආරංචි මාර්ග සඳහන් කර සිටියි. ‘මාළුකාරයන්ගේ ළමයින් වගේනෙ මුන් හැසිරෙන්නේ” යි කියමින් ක්‍රීඩකයන්ට කැත අන්දමින් බැණ වැදීම මොහු පුරුද්දක්‌ කරගෙන සිටින බවද එම ආරංචි මාර්ගවල වැඩිදුරටත් සඳහන් වේ.

මේ අතර එංගලන්තයේ සිටින ඇතැම් ශ්‍රී ලාංකිකයන් ක්‍රීඩකයින්ට රාත්‍රි භෝජනයන්වලට ආරාධනා කරන අවස්‌ථාවන්හිදී ඒවාට සහභාගි නොවී පිටතට ගොස්‌ මුදල් ගෙවා රාත්‍රි ආහාර ලබා ගන්නා ලෙස මෙම කළමනාකරු විසින් ක්‍රීඩකයන්ට දන්වා තිබෙන බවද සැලවේ.

කොළඹ ප්‍රසිද්ධ පාසලකට හා ප්‍රමුඛ පෙළේ ක්‍රීඩා සමාජයකට පමණක්‌ ක්‍රීඩා කොට ඇති මෙම කළමනාකරු දිගින් දිගටම තම පාසලට සහ ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරනු ලබන ක්‍රීඩකයන් කණ්‌ඩායමට ඇතුළත් කර ගැනීමට ප්‍රබල උත්සාහයක නිරත වී ඇතත් ඒ සඳහා තේරීම් කමිටුවෙන් ඉඩ නොලැබීම නිසා එම නිලධාරීන්ටද දැඩි ලෙස බැණ වැදී ඇතැයි පැවසේ.

කෙසේ වෙතත් ක්‍රීඩකයන් හොඳින් දක්‌ෂතා දක්‌වමින් තරග ජයග්‍රහණය කරන අවස්‌ථාවන්හිදී එහි සාර්ථකත්වයේ රහස තමන්ගේ කළමනාකාරීත්වය යෑයි කියමින් ලකුණු දමා ගැනීමට උත්සාහ කරන්නකු ලෙස ප්‍රචලිත වී තිබෙන මෙම කළමනාකරු එංගලන්ත සංචාරයේ පුහුණුකරුවන් දෙදෙනකුම සිටියදී පුහුණු සැසිවලට ගොස්‌ පන්දු යවන්නන්ගේ පන්දු යෑවීමේ ඉරියව් වෙනස්‌ කිරීමටද උත්සාහ දරා තිබෙන බවද පැවසේ.

එංගලන්ත සංචාරය සාර්ථකව නිමා කරමින් දිවයිනට පැමිණි අවස්‌ථාවේ කරන ලද කතාවකදී යොවුන් කණ්‌ඩායමේ ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දුව අවිෂ්ක ගුණවර්ධන යනුවෙන් ආමන්ත්‍රණය කිරීමෙන් එම ස්‌ථානයේ සිටි සියල්ලන්ගේම හාස්‍යයට ලක්‌වූ සිදුවීමක්‌ බවට පත්විය.

පාසල් සිසුන් සහභාගිවන විදෙස්‌ සංචාරවලදී මෙලෙස සිසුන්ට පරුෂ ලෙස සලකන කළමනාකරුවන් පත් කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේද අවධානය යොමු වී තිබෙන නමුත් මොහුගේ ඉලක්‌කය වී ඇත්තේ මීළග ලෝක කුසලාන තරගාවලිය තෙක්‌ කළමනාකාර ධුරයේ රැඳී සිටීම බවද සැලවේ.

Comments

comments

SHARE