රියෝ ගිය නඩය ගැන හොයන්න අර්ජුන අගමැතිට කියයි

477
0

රියෝ ඔලිම්පික්‌ උළෙල සඳහා සහභාගි වූ පිරිස කවුරුන්දැයි සොයා බැලීමට ස්‌වාධීන කමිටුවක්‌ පත් කරන ලෙස තමා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බව හිටපු ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ නායක සහ වත්මන් වරාය සහ නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සඳහන් කර සිටියි.

“සුදු අලියා සහ ඔලිම්පික්‌” යන තේමාව යටතේ සේව් ද ස්‌පෝර්ට්‌ස්‌ සංවිධානය විසින් කොළඹ ජාතික පුස්‌තකාල ශ්‍රවණාගාරයේදී ඊයේ පවත්වන ලද සංවාදයට එක්‌වෙමින් අමාත්‍යවරයා ඉහත අදහස්‌ පළ කළේය.

“අගමැතිතුමා ඔලිම්පික්‌ ක්‍රීඩා උළෙලට සහභාගි වූ අය ගැන විශේෂ වාර්තාවක්‌ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්ගෙන් කැඳවා තිබෙනවා. මම කියන්නේ ඒ ගැන සොයන්න කමිටුවක්‌ පත් කරන්න කියලයි” යි රණතුංග මහතා පවසයි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දක්‌වා සිටි ඒ මහතා, ජාතික ඔලිම්පික්‌ කමිටුව විසින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට කළ සේවයක්‌ ගැන තමන්ට පමණක්‌ නොව කිසිවකුටත් සෑහීමකට පත්විය නොහැකි බවද චෝදනා කර සිටින්නේය.

“සෑම දෙයකටම සැලසුමක්‌ අවශ්‍යයි. අපි 96 ලෝක කුසලාන ජයග්‍රහණය කරන්න සැලසුම් සකස්‌ කළේ ඊට වසර 10 කට විතර කළින්. නමුත් ඊළඟ ඔලිම්පික්‌ ක්‍රීඩා උළෙල ගැන වූ සැලැස්‌මක්‌ දැනට පේන්නවත් නැහැ”

“මෙහිදී ජාතික ඔලිම්පික්‌ කමිටුව කරන කාර්යය ගැන මට විතරක්‌ නොවෙයි කාටවත් සෑහීමකට පත්වෙන්න බැහැ. ආණ්‌ඩුව වෙනස්‌ වුණත් ජාතික ඔලිම්පික්‌ කමිටුවේ ඉන්නේ එකම අය” යි හිටපු ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ නායකයා චෝදනා කර සිටියි.

ශ්‍රී ලංකා ක්‍රීඩාවේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම වෙනුවෙන් පිහිටුවා තිබෙන “සේව් ද ස්‌පෝර්ට්‌ස්‌” සංවිධානයේ පස්‌වැනි මාසික ක්‍රීඩා සංවිධානය ලෙසින් පැවැති මෙම සංවාදයේදී වැඩිදුරටත් අදහස්‌ දක්‌වා සිටි රණතුං මහතා, ඔලිම්පික්‌ නිවහන සෑදීමේදී ක්‍රීඩා සංගම්වලට කාර්යාල පහසුකම් ලබාදීමට ප්‍රතිපත්තිමය තීරණයක්‌ ගෙන තිබුණද එය මෙතෙක්‌ ක්‍රියාත්මක වී නොමැති බවද චෝදනා කර සිටියි.

“ඔලිම්පික්‌ නිවහන සෑදීමේදී ක්‍රීඩා සංගම්වලට කාර්යාල පහසුකම් ලබා දෙන්න ප්‍රතිපත්තිමය තීරණයක්‌ ගෙන තිබුණා. නමුත් අදටත් එය ක්‍රියාත්මක නැහැ. එතන චීන හෝටලයක්‌ නම් තියෙනවා. මුදල් උපයා ගැනීම ප්‍රශ්නයක්‌ නැහැ. නමුත් ප්‍රධානම අවශ්‍යතාවය මුදල්ද යන්න අප සලකා බැලිය යුතුයි” යෑයි රණතුංග මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

“මේ වගේ දේවල් ගැන සොයා බැලීමක්‌ කරන්න හෝ තීරණයක්‌ ගැනීමට ක්‍රීඩා ඇමැතිවරයාට අපහසු වෙන්න පුලූවන්. අපි දැක්‌කා පහුගිය කාලේ ක්‍රීඩා ඇමැතිවරුන් සහ ඔලිම්පික්‌ කමිටුව අතර හැප්පීම් තිබුණ බව. සී.බී. (රත්නායක) ඇමැතිවරයා ඇත්ත කිව්වා. මාසයක්‌ දෙකක්‌ ඇතුළත ඔහුට ගෙදර යන්නත් වුණා” යි රණතුංග මහතා ඔලිම්පික්‌ කමිටුව හා බැඳී යට ගිය මතකය අවධිකර සිටියේය.

මෙම අවස්‌ථාවට හිටපු ජාතික බැඩ්මින්ටන් ශූර ප්‍රියන්ත විඡේසේකර, හිටපු මේස පන්දු ජාතික ශූර ලලිත් ප්‍රියන්ත, බැඩ්මින්ටන් පුහුණුකරුවකු වන චින්තක ප්‍රනාන්දු මෙන්ම විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා යන මහත්වරුන්ද සහභාගි වී සිටියහ.

මෙහිදී වත්මන් බැඩ්මින්ටන් ක්‍රීඩාව පිළිබඳවද මෙහිදී වැඩි වශයෙන් සාකච්ඡාවට බඳුන් වූ අතර එහිදී බැඩ්මින්ටන් ක්‍රීඩක නිලුක කරුණාරත්න ඔලිම්පික්‌ පදක්‌කමක්‌ ජයග්‍රහණය කරන තරම් මට්‌ටමක සිටින්නේද යන්න කරන ලද ප්‍රශ්න කිරීමකදී, තමන් ක්‍රීඩා අමාත්‍යංශයේ අධ්‍යක්‍ෂක ජනරාල්වරයා හෝ ඔලිම්පික්‌ කමිටුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන්නේ නම් නිලුක කරුණාරත්නට ලැබුණු අවස්‌ථාව වෙනත් ක්‍රීඩාවකට ලබාදීමට කටයුතු කරන බව හිටපු තේරීම් කමිටු සාමාජිකයකු ලෙසද කටයුතු කරන ලද ප්‍රියන්ත විඡේසේකර මහතා සඳහන් කර සිටියේය.

මේ අතර මෙම සංවාදයේදී අදහස්‌ දක්‌වා සිටි මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පෙන්වා දුන්නේ ඔලිම්පික්‌ පදක්‌කමක්‌ දිනා ගැනීමට යන ගමන් මගේදී ක්‍රීඩකයන්ගේ පෝෂණ මට්‌ටම ඉතාමත් වැදගත් වන බවයි. මෙහිදී එම මට්‌ටම ඉහළ තත්ත්වයක රඳවා තබා ගැනීමට නම් ක්‍රීඩකයා ගැන පමණක්‌ නොව ඔවුන්ගේ පවුල් ගැනත් සලකා බැලිය යුතු බව සඳහන් කර සිටියි.

“අපේ පෝෂණය ගැන කිසිම සැලකිල්ලක්‌ දක්‌වන්නේ නැහැ. හොඳම උදාහරණය වලල මධ්‍ය විදුහල. එතැනින් තමයි දක්‌ෂ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිවන්නේ. නමුත් ඔවුන් කන්නේ පානුයි පරිප්පුයි. මෙතැනදී ක්‍රීඩකයාගේ පෝෂණය පමණක්‌ම හිතලා හරියන්නේ නැහැ. ඔවුන්ගේ පවුල් ගැනත් සලකා බැලිය යුතුයි”යි යෑයි මහාචාර්යවරයා පවසයි.

මෙහිදී ලෝකයේ ක්‍රීඩාව සාපේක්‌ෂව මෙන්ම ජානවල ක්‍රියාකාරීත්වය පිළිබඳව අවධානය යොමු කිරීමේදී දුණු විදීම සහ වෙඩි තැබීම වැනි ක්‍රීඩා සඳහා මීට වඩා අවධානය යොමු කරන්නේ නම් ඔලිම්පික්‌ ජයග්‍රහණයක්‌ ලබා ගැනීම වඩාත් පහසුවන බව සඳහන් කර සිටියේය.

“අපේ කලවා යුරෝපයේ අයට වඩා ගොඩක්‌ පොඩියි හීනියි. නමුත් ඇස්‌ සහ අත්වලින් කරන සන්නිවේදන සහ කුසලතා අතින් අපි හුගක්‌ දියුණු මට්‌ටමකයි ඉන්නේ. මේ නිසා අපි ප්‍රවර්ධනය කළ යුත්තේ දුනු විදීම සහ වෙඩිතැබීම යන ක්‍රීඩායි. මේ ක්‍රීඩා අපේ ජානවලම තියෙනවා. වැදි ජනතාවගේ ආරම්භයේසිට අපි පුරුදුකළා. අනික්‌අතට අවුරුදු 30 ක්‌ අපි යුද්ධ කළා. එහිදී දක්‌ෂ ස්‌නයිපර්වරු අපිට සිටියා. කවුරු හරි තර්ක කරන්න පුලුවන් යුද්ධයේදී යොදාගන්නා තුවක්‌කුවයි ක්‍රිඩාවට ගන්න එකයි වෙනස්‌ කියලා. නමුත්, වෙඩි තියන්න භාවිත කරන ශිල්පය කොතැනත් එකයි”යෑයි මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කර සිටියේය.

Comments

comments

SHARE