සැපර්ස් 4X4 ජීම්පෝ තරගාවලිය ඇඹිලිපිටියේ දී

96
0

ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකායත්, ෆෝවීල් මෝටර් රථ ධාවකයන්ගේ සංගමයත්, ශ්‍රී ලංකා යතුරුපැදි ධාවකයන්ගේ සංගමයත් එක්ව සංවිධාන කරන සැපර්ස් 4X4 ජිම්පෝ ශූරතා තරගාවලිය හෙට (17) ඇඹිලිපිටිය තුංකම යුද හමුදා ඉංජිනේරු බලකා භූමියේ 4X4 ජිම්පෝ ධාවන පථයේ දී පැවැත්වෙයි.

වසර 2011 දී ආරම්භ කළ සැපර්ස් 4X4 ජිම්පෝ අභියෝගාත්මක තරගාවලියට පසුගිය වසරේ සිට ශ්‍රී ලංකා ධාවන පැදි කරුවන්ගේ සංගමය සමග එක්ව යතුරු පැදි තරගාවලියක් ද ඇතුලත්කොට තිබූ අතර මෙවර එය 4X4 අභියෝගාත්මක ඕෆ් රෝඩ් තරගාවලියට සමගාමීව පැවැත්වෙයි.

ශ්‍රී ලංකා යතුරුපැදි ධාවකයන්ගේ සංගමයේ දැනුම උපයෝගී කර ගනිමින් ෆෝවීල් ධාවකයන්ගේ සංගමයේ තාක්ෂණික උපදෙස් අනුව විවිධ ස්වාභාවික බාධකවලින් සමන්විත අභියෝගාත්මක ධාවන පථයක් මෙම තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද ඉංජීනේරු පාසල් භූමියේ අභිනවයෙන් නිර්මාණය කර ඇත.

මේ තරගාවලිය තරගකරුවන්ගේ හැකියාවන් ඉතා සියුම්ව පරික්ෂාවට ලක් කෙරෙන තෝතැන්නක් බවට පත්වී තිබේ. විවිධ බාධකවලින් සමන්විත අති දුෂ්කර ධාවන පථයේ දී තරගකරුවන් ඔවු‍නොවුන්ගේ හැකියාවන් විදහා දක්වනු ඇත. මඩ වගුරු, ගල් වැටි පාලම් තරණය හා විවිධ හැඩතලයෙන් යුතු බාධකවලින් මෙම අභියෝගාත්මක ධාවන පථය සකස්කොට තිබීම කැපී පෙනේ.

අභියෝගාත්මක සැපර්ස් 4X4 ජිම්පෝ තරගාවලිය තරග කාණ්ඩ තුනක් යටතේ පැවැත්වේ. ස්ටෑන්ඩඩ්, යුට්ලටි පංතියේ හා අතිශයෙන් නවීකරණය කරන ලද යන කාණ්ඩ ඊට ඇතුලත් වන අතර යතුරු පැදි තරග පී.ඩබ්ලිව් වයස අවුරුදු 10 න් පහළ තරගයක් වයස අවුරුදු 13න් පහළ හා 16න් පහළ තරග දෙකක් ස්ට්‍රේල් ටේල් 125 සී.සී. එක් තරගයක් එම කාණ්ඩයේම 250 සි.සි. තරග ඉසව් දෙකක් රේසිං කාණ්ඩයේ 125 සී.සි. තරග ඉසව් දෙකක් (සන්නද්ධ සේවා ඇතුළු) හා රේසිං 250 සි.සී. තරග ඉසව් දෙකක් මෙවර යතුරු පැදි තරගාවලියට ඇතුළත්වී තිබේ.

මෙම තරගාවලිය සංවිධානය කිරීමේ මූලික අරමුණ වනුයේ ශ්‍රී ලංකා යුද හමුදා ඉංජීනේරු බලකායේ සේවයේ නිරතව යුද සමයේ සටන් බිමේදී ජීවිතක්ෂයට පත්වූ හා නොයෙක් ආබාධවලට ලක්වූ රණවිරුවන්ගේ සුබසාධනය උදෙසාත් දැනට සේවයේ නියුතු රණවිරුවන්ගේ සුබසාධන යටිතල පහසුකම් සංවර්ධනය පෙරදැරිව මෙම තරගාවලිය සංවිධාන කෙරේ. මෙම තරගාවලියට සමගාමීව ප්‍රජා සත්කාරක වැඩසටහන් කිහිපයක් ඇතුළත් කර ඇති අතර මෙහි මුල් පියවරක් ලෙස ඇඹිලිපිටිය අධ්‍යාපන කොට්ඨාසය ආවරණය වන පරිදි සියලුම පාසල් නියෝජනය වන ලෙස පහේ ශිෂ්‍යත්ව වැඩමුළුවක් පසුගියදා පැවැත්විණි.

“සොබා දහමෙ අසිරිය” මාතෘකාව කොටගෙන චිත්‍ර තරගයක් පවත්වා එම චිත්‍ර තරගාවලියේ ප්‍රදර්ශනය සැප්තැම්බර් මස 05 – 06 යන දෙදින පුරා ඇඹිලිපිටිය බුද්ධි මණ්ඩපය ශාලාවේදි ප්‍රදර්ශනය කෙරිණි. මෙමඟින් සිය කුසලතා වර්ධනය කර ගැනීමට දැයේ දූ දරුවන්ට අවස්ථව සැලැසීමට යුද හමුදා ඉංජීනේරු බලකාය පෙරමුණ ගැනීම විශේෂත්වයකි.

Comments

comments

SHARE