මිහිදන් නොකළ වීරත්වය

5467
0

එය මෙරට ඉතිහාසය  පසු කල අතිශය තීරණාත්මක කාල සමය විය. බිහිසුණු කොටි ත්‍රස්තවාදය අතුගා දැමීමේ මෙහෙයුමේ ඉදිරියෙන්ම  සිටියේ මෙරට ඈත ගම්මානවල අහිංසක මව් පියන්ගේ පුතුන්ය. අනුරපුර ඉපලෝගම දිනේෂ් ප්‍රියන්ත හේරත්ද එවැන්නන්ගෙන් කෙනෙකි.

යාන්තම් වයස අවුරුදු 22 පසුකරමින් සිටි මේ යෞවනයා අනාගත සිහින දකිමින් විවාහ දිවියට එක්ව මාස දෙකක් ගතවුවා පමණි. 2008 දී  එවකට කොටි පරිපාලනයේ අගනගරය වූ කිලිනොච්චියේදී ස්නයිපර් වෙඩි පහරකට ලක්වන  දිනේෂ් ප්‍රියන්තට  තම වම් අතේ ප්‍රාණවත් බව සදාකාලයටම අත හරින්නට සිදු වනවා.

නමුත් ගජබා රෙජිමේන්තුවෙන් ලත් ශක්තිය ජවයක් කරගත් මේ දිරිය තරුණයා තමන් තුල සැගවුණු ක්‍රීඩා කෞශල්‍ය ටිකෙන් ටික මතු කරන්නේ ලෝකය දිනන ගමනක පෙරමග සලකුණු කරමිනි. එහි උපරිමයට ඔහු ළගා වන්නේ රියෝ නුවර මරකාන පිටියට ඉහළින් ශ්‍රී ලංකා ධජය අභිමානවත් ලෙස ඉහලට ඔසවමිනි.

පැරලිම්පික් කියා වෙනසක් නැත. දිනේෂ් ප්‍රියන්ත මෙරටට දිනා දුන්නේ තවත් වසර unnamedගනනකට ඈතින් තවමත් සිහිනයක් පමණක් ලෙස අප දකින ඔලිම්පික් පදක්කමකි. පිට පිට පැරලිම්පික් උළෙල දෙකකදී  පදක්කම් දිනන්නට මෙරට පැරා කණ්ඩායම සමත් වන්නේ ඔවුන් තුල තිබෙන අප්‍රතිහත දිරිය නිසාමය. ලෝක මට්ටමේ ධාවකයන් සමග අතිශය තරගකාරී වට පිටාවක එක පොදියට තරගකළ ලාංකික  කිසිවෙකු සුසන්තිකාගෙන් පසු අපට මුණගැසී නැත. අනිල් ප්‍රියන්ත සහ ඉන්දික චුලදාස T42 200m අවසන් 8 දෙනා අතර දිවයන්නේ කෙටි දුර ධාවනයේ රජුන් තැනූ ඇමරිකාව සහ ජැමෙයිකාව ද පසු පසට ඇද දමමිනි.

T47 400m අවසන් තරගයේ අවසන් මීටර 75 දක්වාම අපට තවත් පදක්කමක් විය. අමරා ඉන්දුමතී තප්පර දශම ගණනකින් පසු පසින් තරග නිම කලත් තවමත් ඇය බලාපොරොත්තු අත් හැර නැත. කොටින්ම රියෝ නුවර සිට ඇය පැවසුවේ 2020 දීනම් අනිවාර්යෙන්ම පදක්කමක් දිනන බවය.කෙටි දුර ධාවනයේ පෙරලි කරන්නට මත්තෙන් පුහුණු වන්නට ප්‍රමිතිගත ධාවන පථයක් මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තිබුනේ නැත. ටොරින්ටන් පිටියේ තණකොළ මත දිව ගොස් ලෝකය දිනනවානම් එය සිහිනයකි. සුගතදාස පිටිය තවමත් අබලන්ය. හෝමාගම දියගම වෙත පැරා කණ්ඩායම යායුතු වුයේ තමන්ගේ මහන්සියෙනි.අවසන් සතියේ පමණක් පහසුකම් සම්පාදනය කලේ මෙරට ක්‍රීඩා බලධාරීන්ගේ දැනුමේ තරම නිදසුන් සහිතව පෙන්වමිනි.

එදා මුලතිව් හිදී ප්‍රහාරයකට ලක්ව පසුව පැරා කණ්ඩාමට එකතු වූ සම්පත් බණ්ඩාර දුනු විදීමේ ලෝක  ශ්‍රේණි ගත කිරීම් වල විශ්මය ජනක ලෙස ඉහළට ගියේය. රියෝ එනවිට ඔහු 38 වෙනියාය. පැරලිම්පික් අවසන් වන විට ඔහු ලෝකයේ 12 වැනියාය. දුනු විදීමේ නවීන තාක්ෂණය ඔහුට නැත. ඇතැම් උපකරණ සපයා ගන්නේ අතේ වියදමිනි. ලංකාවේ දෑත දෙපා සවිමත් සියල්ල අතරේ තරග කලත් ඔහුට හතරවන ස්ථානයනම් සහතිකය. පොඩි තල්ලුවක් දුන්නොත් සම්පත් රටට මිලකළ නොහැකි සම්පතක් වන බවනම් සිකුරුය.

පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තබා විශේෂ අවශ්‍යතා ඇති කිසිවෙකු වෙනුවෙන් සේවා සම්පාදනයට මෙරට අසමත්ය. රෝද පුටුවේ සිටින තැනැත්තෙකු වෙනුවෙන් ක්‍රීඩා පිටි ඇතුල්වීමේ සිට තරග නැරබීම දක්වා මෙරට පහසුකම් අල්පය. එවන් අය වෙනුවෙන් වැසිකිලි පහසුකම් පවා මෙරට පොදු ස්ථාන වල නැත. ලෝකයේ තත්වය මීට වෙනස්ය. පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අනුකම්පාව අවශ්‍ය නැත. ඔවුනට අවශ්‍ය වන්නේ මෙරට අනිකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබෙන සොච්චම් සැලකිලි පමණි. එයින්ම පැහැදිලි වන්නේ පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් රටක් ලෙස අප යමක් නොකළ බවය.

මෙරට පාසල් තරගයක් පවා සජීවී ලෙස රැගෙන එන්නට රුපවාහිනී ආයතන මෙන්ම වෙළද ප්‍රජාවද පොර කති. නමුත් අතිශය ඉහළ වටිනා කමකට අලෙවිවන පැරලිම්පික් විකාශන අයිතිය නොමිලේම ජාතික රූපවාහිනියට ලැබෙද්දී එහි තාක්ෂණ ක්‍රියාදාමය පිළිබද උනන්දු නොවීම මත මෙරටට ලැබුණු පදක්කමක සජීවී සාක්ෂිකරුවන් වීමේ වරම මෙරට වැසියන්ට අහිමි විය. ඇතැම් නාලිකා රට පුරා යමින් ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් සුබපැතුම් එකතු කර අනුග්‍රාහකයින් පිරිවරද්දී පැරා කණ්ඩායම වෙනුවෙන් කිසිවක් නොකිරීම ගැන ලැජ්ජා විය යුතුය.

එළබෙන වසර හතර තුල ලෝක මට්ටමේ පදක්කමක් දිනනවානම් ශ්‍රී ලංකාවට ඇති ආසන්නම බලාපොරොත්තුව පැරා කණ්ඩායමෙනි. 2018 ලන්ඩන් ලෝක ශුරතා තරගාවලිය , ගොල්කොස්ට් පොදුරද මඩුලු තරගාවලිය සේම 2020 ටෝකියෝ තරගාවලිය තුල පැරා කණ්ඩායමට විශ්මය ජනක යමක් කළ හැකි බවට ඔප්පු කොට ඇත. රියෝ නුවර සිට පැමිණෙන කණඩායම පිළිගන්නට මහ ඉහළින් දැනටමත් සුදානම්ය. නමුත් ඒ අවධානය එදිනට පමණක් වන බව ඉතිහාසය ඕනෑවටත් වඩා සාක්ෂි සපයා ඇත. තමන් උපන් දේශයටත්,පෝෂණය කළ මව් කිරටත් ණයක් නොවුණු පැරා ක්‍රීඩා බලමුළුව හදවතින් වැළද ගන්නට කාලය එළබ ඇත.

-මංජුල ලන්දෙකුඹුර-

Comments

comments

SHARE