මලල ක්‍රීඩා සුපිරි සංචිතය නම් කිරීමට යාමේදී කඹ ඇදිල්ලක්

92
0

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සුපිරි සංචිතය සෑදීම පාර්ශව දෙකක මත දෙකක් හේතුවෙන් කල් ඇදෙන බව වාර්තා වේ. මලල ක්‍රීඩා ඉසව්වක ශ්‍රී ලංකා වාර්තාවෙන් සියයට 98ක දක්ෂතාව පෙන්වා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විතව සුපිරි සංචිතය සෑදිය යුතු බවට එක් පාර්ශවයක් යොජනා කර ඇති අතර අනෙක් පාර්ශවය පවසන්නේ සුපිරි සංචිතයට දකුණු ආසියානු රන් පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ඔලිම්පික් සුදුසුකම් ලැබූ තිදෙනා හා ජගත් මලල ක්‍රීඩා ලකුණු සටහනේ ලකුණු 1050ට වැඩියෙන් ලබා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්කර ගතයුතු බවයි.

එම සුපිරි සංචිතය සෑදීමට පත්කළ ප්‍රවීණයන් පිරිස ශ්‍රී ලංකා වාර්තාවෙන් සියයට 98ක දක්ෂතාව ගණනය කොට සුපිරි සංචිතය සකසමින් සිටියදී මලල ක්‍රීඩා සංගමය මගින් ක්‍රීඩා අමාත්‍යාංශයට භාරදී ඇති තවත් යෝජනාවක්ද කරළියට පැමිණ ඇත. ශ්‍රී ලංකා වාර්තාවෙන් සියයට අනුවක දක්ෂතා මැණ බැලීමේදී අවශ්‍යම ඉසව් කිහිපයකට දක්ෂතා ඇති ක්‍රීඩක ක්‍රිඩිකාවන් සොයා ගැනීමට නොහැකිවනු ඇතැයි මලල ක්‍රීඩා සංගමයේ නිලධාරියකු උදාහරණ සහිතව පෙන්වාදීමත් සමග සුපිරි සංචිතය සෑදීම ප්‍රශ්න සහගතවී ඇතැයි වාර්තා වේ.

වත්මන් මලල ක්‍රීඩා සභාපති සුගත් තිලකරත්න මහතා 1998දී මීටර් 400 ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව තත්පර 44.61කින් පිහිටුවා ඇති අතර එයින් සියයට 98ක දක්ෂතාව තත්පර 45.52ක් බැවින් එවැනි වේගයක් ඇති ක්‍රීඩකයෙක් සොයා ගැනීම ප්‍රශ්න සහගත බවට මලල ක්‍රීඩා සංගමයේ නිලධාරියකු තර්ක කරමින් සිටී.

එබැවින් ප්‍රවීණයන් පිරිසගේ නිර්ණායක අනුව නම් කරන මලල ක්‍රීඩා සුපිරි සංචිතයට මීටර් 400 ක්‍රීඩකයෙක් ඇතුළත් නොවන්නේද? ඇතුළත් වන්නේ නම් ඒ කවර ආකාරයෙන්ද යන්න එම නිලධාරියා ප්‍රශ්න කොට ඇති බව වාර්තාවේ. මේ තත්ත්වය මත සුසන්තිකා ජයසිංහ, දමයන්ති දර්ශා වැනි හිටපු ප්‍රබල ක්‍රීඩිකාවන් නියෝජනය කළ ඉසව්වලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සොයා ගැනීමද අසීරුවනු ඇතැයි පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සුපිරි සංචිතයේ කළමනාකාරීවරිය ලෙස සුසන්තිකා ජයසිංහ මහත්මිය නම්කර ඇති අතර විදෙස් පුහුණුකරුවෙකුගේ සේවය ලබා දෙන බවද ක්‍රීඩා ඇමැතිවරයා පවසා තිබුණි. එයට අමතරව සුපිරි සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ආහාරපාන හා අනෙකුත් වියදම් සදහා රුපියල් 10000ක දීමනාවක්ද, ඒ ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන් භාර පුහුණුකරුවන්ට රුපියල් 25000ක මුදල් දීමනාවක් ලබාදීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ මුදල් ප්‍රතිපාදන වෙන් කෙරුණි.

ලබන වසරේ ඉන්දියාවේ රංචි හී පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය ඉලක්ක කොට මලල ක්‍රීඩා සුපිරි සංචිතයක් කඩිනමින් ප්‍රකාශයට පත්කරන ලෙස ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට උපදෙස්දී ඇති අතර එය සෑදීම මලල ක්‍රීඩා ප්‍රවීණයන් කිහිප දෙනකුට භාර කෙරුණි. ආසියානු මට්ටමේදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා දක්ෂතා පහළ වැටී ඇති හෙයින් විධිමත් වැඩ පිළිවෙළක අවශ්‍යතාව ගැන බොහෝ පිරිසක් ක්‍රීඩා ඇමැතිවරයාට කරුණු පෙන්වාදී තිබේ

Comments

comments

SHARE