රුසියාව ලෝක මලල ක්‍රීඩක තොරතුරු සොරකමක

115
0

රුසියානු හැකර් කණ්ඩායමක් විසින් රටවල් අටක මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසි පස් දෙනෙකුගේ රහස්‍ය වෛද්‍ය වාර්තා තොරතුරු හෙළිදරව් කරනු ලැබ ඇති බව ජාත්‍යන්තර තහනම් උත්තේජක භාවිතයට එරෙහි ආයතනය පවසයි.

ජාත්‍යන්තර නීති රෙගුලාසි වලට අනුව තහනම් උත්තේජක ලෙස නම් කරනු ලැබ ඇති ඇතැම් ඖෂධ වර්ග සිය සෞඛ්‍ය තත්වය මත භාවිතා කිරීමට අවසර ලද මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වෛද්‍ය වාර්තායි මෙම කණ්ඩායම විසින් හෙළිදරව් කොට තිබෙන්නේ.

මෙම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර පදක්කම් ලාභී ඇමෙරිකානු, ජර්මානු සහ බ්‍රිතාන්‍ය ජාතිකයෝ ද සිටිති.

කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය සුපිරි පාපැදි ක්‍රීඩකයන් වන බ්‍රැඩ්ලි විගින්ස් සහ ක්‍රිස් ෆ්‍රෝම් නීති විරෝධී ලෙස එම ඖෂධ භාවිත කළ බවට කිසිදු ඇඟවීමක් හෝ චෝදනාවක් ඉදිරිපත් වී නැත.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් රුසියාවට එරෙහිව තරග තහනම් පනවනු ලැබීම වෙනුවෙන් පළි ගැනීමක් ලෙස මෙම හැකරුන් කණ්ඩායම සයිබර් ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි ජාත්‍යන්තර තහනම් උත්තේජක භාවිතයට එරෙහි ආයතනය පවසන්නේ.

රුසියානු රජයේ අනුග්‍රහය ඇතිව එරට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහනම් උත්තේජක භාවිතා කළ බවට හෙළි වූ තොරතුරු මත රුසියාවට මෙවර පැරා ඔලිම්පික් සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කළ අතර ඔලිම්පික් තරගාවලියද ඇතැම් රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තහනම් විය.

‘ෆැන්සි බෙයාර්ස්’ (Fancy Bears) යනුවෙන් තමන් හඳුන්වා ගන්නා මෙම රුසියානු හැකරුන් කණ්ඩායම පසුගිය අඟහරුවාද මීට සමාන රහස්‍ය තොරතුරු ගොණුවක් හෙළිදරව් කර ඇති බවයි වාර්තා වන්නේ.

Comments

comments

SHARE